ජනපති ලබන 28 වනදා කොරියානු සංචාරයක

Share

කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ලබන 28වනදා සිට 30 වනදා දක්වා කොරියානු ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් ස්ථාපනය කිරීමේ 40 වැනි සංවත්සරයට සමගාමීව සිදුවන්නකි. ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර සහයෝගීතාවය වඩාත් පුළුල් කර ගැනීම සඳහා දෙරටේ රාජ්‍ය නායකයින් අ‍න්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත.

ජනාධිපතිතුමා, කොරියා ජනාධිපති මුන් ජෙයින් මහතා සමුළු සාකච්ඡාවක් සඳහා 29 වැනිදා හමුවීමට නියමිත අතර අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර, රජයන් දෙක අතර ආර්ථික සහයෝගීතාව, ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හා සංස්කෘතික සහයෝගීතාව හා සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන් ම ආයෝජන සහායෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

ප්‍රධාන පෙළේ කොරියානු ව්‍යාපාරික සංගම් හතරක සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික දිවා භෝජන සංග්‍රහයකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගිවීමට නියමිත අතර එරට වෙසෙන ශ්‍රී ලාංකීක ප්‍රජාවද හමුවීමට නියමිතය.

Read more

Local News