අවංක රාජ්‍ය පාලකයෙකු බිහි කරන්න රණසිංහ ප්‍රේමදාස නාමයෙන් අත්වැල් බැඳගමු

Share

දූෂණයෙන් හා වංචාවෙන් තොර පොඩි මිනිසා රජ කරවන කාර්යශූර, අවංක රාජ්‍ය පාලකයෙකු බිහිකිරීමේ ජනතා පැතුම ඉටු කිරීමට රණසිංහ ප්‍රේමදාස නාමයෙන් අප අත්වැල් බැඳගෙන කටයුතු කරමු යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව, ඇතිනිමලේ ඉදිකළ “ගජමුතුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

රටේ ඉදිරිගමන, නායකත්වය හා ජාතික වැඩපිළිවෙල තීරණය කිරීමට මෙම වසරේදී ජනතාවට අවස්ථාව හිමිවන බවත් රණසිංහ ප්‍රේමදාස නාමයෙන් එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමන් ඇප කැප වන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

රාජ්‍ය සම්පත් භාවිතා කළ යුත්තේ පාලකයින්ගේ සුඛවිහරණය උදෙසා නොව රටේ අසරණ පොදු ජනතාවගේ සුඛවිහරණය උදෙසා බැවින් පාලකයින් රටේ සම්පත් අඩුවෙන් භාවිතා කළයුතු බවත් අමාත්‍යවරයා පවසයි.

අපේ රට සිංගප්පූරු රට මෙන් දියුණු තත්ත්වයට පත් කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුව බවත්, 2019 වසර එම ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් කිරීමට ජනතාවට අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා පැවසීය.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 193 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“ගජමුතුගම” උදා ගම්මානය නිවාස 28 කින් සමන්විත වන අතර එය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 379 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

Read more

Local News