සුරක්ෂා දූෂණ ගැන පැමිණිලි විභාගය අද අරඹයි

Share

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණාවරණය සහ ප්‍රතිරක්ෂණ සම්බන්ධයෙන් සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා පිළිබදව පැමිණිලි විභාගය දූෂණ හා අක්‍රමිකතා විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසම විසින් අද සිදුකරීමට නියමිත වේ.

මෙම රක්ෂණ ක්‍රමයට සම්බන්ධ පිටස්තර පාර්ශව කිහිපයකින් අද සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බව පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසමේ ප්‍රකාශයෙකු සදහන් කළේය.

දැනට මෙම විමර්ෂණ සදහා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා , අධ්‍යාපන අමාත්‍යංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පාර්ශව කිහිපයක් සාක්ෂි ලබා දී තිබේ.

සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ යටතේ ලක්ෂ 45 ක් වූ පාසල් සිසුන් සදහා රුපියල් මිලියන 2,800 ක් වෙන් කර තිබුණන් ඉන් ප්‍රතිලාභින්ට දී ඇත්තේ රුපියල් මිලියන 500 ක් පමණක් බවත්, ඉතිරි රුපියල් මිලියන 2,300 ක මුදල සම්බන්ධයෙන් මෙහිදී විමර්ෂණ සිදුකෙරෙන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ , සුරක්ෂා රක්ෂණ ක්‍රමයට අමතරව , පාසල් නිල ඇදුම් රෙදි වෙනුවට වවුචර් පත් ලබා දීමේදී සහ පෙළපොත් මුද්‍රණයේදී සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් ද මෙම කොමිසම හමුවේ සාක්ෂි සටහන් කර ගෙන ඇති බවයි.

එම සාක්ෂිවලට අනුව අධ්‍යාපන අමාත්‍යවරයාට ද චෝදනා එල්ල වී ඇති බැවින් , ඒ සදහා කරුණු දැක්වීමට කැමැත්තෙන් පසුවන පුද්ගලයින්ට ලබන ජූනි මස 3 වනදා කොමිසම හමුවට පැමිණිය හැකි බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව දන්වා ඇතැයි ද කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදුව ඇතැයි පැවසෙන මෙම දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි.

Read more

Local News