වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630ක් දක්වා ඉහළට

Share

පොලිස් අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට එල්ලවූ චෝදනා විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුව මුලික කරුණු 4කින් සමන්විත සිය අතුරුවාර්තාව ඊයේ(03) දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාර දී තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉදිරි විමර්ශන සදහා සය පුද්ගල විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජීකයින් සංඛ්‍යාව පුළුල් කළයුතු බවයි.

මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල සහ  දඹුල්ල රෝහල්වලට මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 630 ඉක්මවා තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී ෂෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සදහා පසුගිය 28 වනදා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සය පුද්ගල විමර්ෂණ කමිටුවක් පත්කරනු ලැවේය.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ සභාපතිත්වය යටතේය.

අදාළ විමර්ශන කමිටුව පසුගිය දින කිහිපය පුරාවට සිදුකළ විමර්ශන ඇතුළත් අතුරු වාර්තාවක් ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත භාරදෙනු ලැබුවේය.

එහි මුලික කරුණු 4 ක් සදහන් කර තිබේ.

මූලික විමර්ශනයට අදාළ සිදුවීම් මාලාව දීර්ඝ කාලසීමාවක් තුළ පැතිර ඇති බැවින් හා මේ සම්බන්ධ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාත්මක වශයෙන් ද ඉතා ඉහළ අගයක් ගෙන ඇති හෙයින් විමර්ශන කමිටුවේ සංයුතිය හා සාමාජික සංඛ්‍යාව පුළුල් කිරීම.

අදාළ කාලසීමාව තුළ කුරුණෑගල රෝහල තුළ සීසර් සැත්කමට බඳුන් වී ද්විතීය මදසරුභාවයට පත්ව ඇති කාන්තාවන්ගේ සියලුම පැමිණිලි විමර්ශනය කිරීම.

විමර්ශනය හා ඉදිරි කටයුතු සාර්ථකව කරගෙනයාම පිණිස අත්‍යවශ්‍ය පරිපාලනමය සහයෝගය කමිටුව වෙත ලබා දෙන ලෙසට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.

අදාල කාල සීමාව තුළ කුරුණෑගල රෝහලේ දී සීසර් සැත්කම් වලට බඳුන් වූ පසු මඳසරුභාවයට පත් වූ සියළුම මව්වරුන්ගේ හා ඒ ඒ සැත්කම සඳහා සහභාගි වූ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සියලුම තොරතුරු කමිටුව වෙත ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා වෙත දැන්වීම.‍

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම කරුණු සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්හි අවධානයට යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවු බව සහ සංකූලතා ඇතිවූ බව පවසමින් අදත් මව්වරු 66 දෙනෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ අනුව මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 544 කි.

එමෙන්ම මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අදත් මව්වරු 21 ක් දෙනෙකු දඹුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය.

මේ වන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 86 කි.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ රෝගීයාගේ කැමැත්ත නොමැතිව සිදුකරන ඕනෑම ශල්‍යකර්මයක් වෛද්‍ය ආචාරධර්ම වලට පටහැනි වන බැවින් එවැනි ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

එබැවින් මෙම සිදුවීම් මාලාව නිසා සෞඛ්‍ය සේවා පිළිබඳව ජනතා විශ්වාසය පළුදු වීමට ඉඩ ඇති බවත් මෙමඟින් මෙරට මාතෘ සෞඛ්‍ය සේවා සඳහා ඇතිවන බලපෑම ගැන දැඩි අවධානයෙන් පසුවන බවයි.

Read more

Local News