ගෝඨාගේ පෙත්සම් විභාගයට අභියාචනාධිකරණයට බලයක් නැති බව නීතිපති දන්වයි

Share

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අභියාචන අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද(06) යළි සලකා බැලීම ආරම්භ කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සෘජුවම අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතිද්දී ඊට සමාන්තර මෙම කරුණ අභියාචනාධිකරණයට විභාගවිමට බලයක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විශේෂ මහාධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේද නැද්ද යන්න තීන්දු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් පෙත්සම්කරුගේ මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව තීන්දු කොට එය නිෂ්ප්‍රභ කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව වැඩිදුර සලකා බැලීම හෙට(07) දිනට කල් තැබුණි.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලය පැවරී තිබෙන්නේ බරපතළ ආර්ථික වැරදි සහ මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමට පමණක් බවත් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව එවැනි ගණයට අයත් නොවන නඩුවක් බැවින් එය විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියි.

එහෙත් එම මූලික විරෝධතාව විශේෂ මහාධිකරණය මඟින් ප්‍රතික්ෂේප කළ බව ඔහු කියා සිටියි.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අයැද සිටියේය.

Read more

Local News