ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කරනවා

Share

දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග පැවැත්වීමට ප්‍රමුඛතාව ලබා නොදෙන බවත්, ඉදිරියේ දී මෙරට  අධ්‍යාපන පද්ධතිය තුළ ද පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් අසමත් භාවය මිස ලංකාවෙන්ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට පසුගිය දා එක් වෙමින්.

බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකිරීමට ඇති අවකාශ අහිමි වී තිබෙන්නේ, පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග තවමත් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බව අමාත්‍යවරයා පැවසීය.

විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බවත්, මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ඉදිරියේ දී එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

Read more

Local News