අභියෝග හමුවේ ආණ්ඩුව අසාර්ථක වුනේ නෑ – අගමැති

Share

ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය කාල වකවානුවේ දී බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව ජනමත ගොඩනැගීම් වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බවත්, ඒ අභියෝග හමුවේ අසාර්ථක නොවී ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකි වූ බවත් අගමැතිවරයා  සිහිපත් කළේය.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සමෘද්ධි නිවාස ලොතරැයි  මාසිකව දිනුම් අදිනු ලබන අතර පසුගිය මාස 6 හි ජයග්‍රාහිකයින් සඳහා ඊයේ දින චෙක්පත් ලබාදීම සිදු කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

“සමෘද්ධිය තුළින් කිසිවෙකුට ඵල ප්‍රයෝජනයක් නොලැබෙන බව එක් වකවානුවක රටේ මතයක් ඇතිව තිබුණා. එයින් ප්‍රයෝජන  ලබාගත්තේ ඇතැම් නිලධාරීන් පමණක් බව එකල ජනතාවගේ මතය වුණා. එය විශාල චෝදනාවක් වුවත් එහි සත්‍යතාවක් තිබුණා. නමුත් දයා ගමගේ අමාත්‍යවරයාගේ  නව සංකල්පය අනුව මෙම තත්ත්වය වෙනස් වී තිබෙනවා. අද වන විට සමෘද්ධි වැඩසටහන තුළින් රටේ විශාල ප්‍රමාණයක  ජනතාව ප්‍රතිලාභ  ලබනවා.

මෙම වැඩසටහනේ මූලික සංකල්පය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස  ජනාධිපතිතුමායි. ඒ ජනසවිය වැඩසටහන යටතේයි. සමෘද්ධි ව්‍යාපාරය, ජනසවිය වැඩසටහනේ මූලධර්ම අනුව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් නම් සමෘද්ධි ව්‍යාපාරය  එම මූලධර්ම අනුව ක්‍රියාත්මක නොවීම නිසා එම ව්‍යාපාරය  තුළ විවිධ ගැටලූ ඇති වුණා. ඒ හරහා රටේ ජනගහනයෙන් කොටසකට විශාල අසාධාරණයක් සිදු වුණා. කෙසේ වෙතත් අද වන විට එම ගැටලූවලට සාර්ථක විසඳුමක් ලබාදීමට දයා ගමගේ අමාත්‍යවරයාට හැකිවී තිබෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට රජයේ කිසිදු වැඩසටහනක් අතරමග නතර නොකර ඉදිරියටම කරගෙන යාමට අපේ ආණ්ඩුව කටයුතු කළා. ආණ්ඩුව විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. පසුගිය වසර අවසන් කිරීමට අපට සිදුවුණේ අග්‍රාමාත්‍ය  ධූරය පවා අහිමිවීමෙන් පසුවයි. ඇමතිධූර පවා අහිමි වි ගියා. නැවතත් අප බලයට පත්වී රට ඉදිරියට ගෙන යාවි යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ.

නමුත් නැවතත් ආණ්ඩු බලය ලබාගත් පසු පෙරටත් වඩා ශ්‍රීඝ්‍රයෙන්  සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු යැයි මම අපේ අමාත්‍ය  මණ්ඩලයට උපදෙස් දුන්නා. දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව නැවතත් රට භාර ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නියෝජනය කරන ආණ්ඩුවක්.

එම නිසා අපේ වැඩකටයුතු වලට ඇතැමුන් බාධා කරනවා හෝ කකුලෙන් අදිනවා යැයි දොස් පැවරීමට අපට හැකියාවක් නැහැ. එම නිසා චෝදනා කිරීම්වලින් තොරව රට සංවර්ධනය කිරිමට කටයුතු කළ යුතු යැයි අප තීරණය කළා” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News