අයහපත් කාලගුණ තත්ත්වය – දිස්ත්‍රික් 11ක ග්‍රාම නිලධාරී වසම් 66ක් ආපදාවට

Share

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික් 11ක ග්‍රාම නිලධාරී වසම් 66ක් ආපදාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව මේ වන විට ගාල්ල, බදුල්ල සහ ගම්පහ දිස්ත්‍රික්වලින් පුද්ගල මරණ 04ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 23දෙනෙකු අතුරුදන්ව ඇත.
එමෙන් ම ඇතිවූ තද සුළං හේතුවෙන් නිවාස හානිවූ පුද්ගලයින් සඳහා කූඩාරම් කොළඹ දිස්ත්‍රික්කය සඳහා 500ක්ද, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 200ක්ද, මාතර දිස්ත්‍රික්කය සඳහා 200ක් හා කළුතර දිස්ත්‍රික්කය සඳහා 1000ක් වශයෙන් බෙදාහැර ඇත.
පීඩාපට පත් වූ එක් පවුලක් වෙනුවෙන් රුපියල් 10,000බැගින් ලබාදීමට මේ වන විට ආපදා රක්ෂණ අරමුදල එකගවී ඇතැයි පෙන්වාදුන් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරක්ෂිත නිවාස 04ක් ස්ථාපනය කොට ඇතැයි එම ස්ථානයන් හි රැඳීසිටින්නන් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සියලු අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් පෙන්වාදුන්නේය.
ඊයේ රාත්‍රියේ පැවැති තද සුළං තත්ත්වය පහව යමින් පවතින නමුත් ඉදිරියේ දී සුළං තත්ත්වයක් ඇතිවීමේ අවස්ථාව තිබෙන බවත් කී අමාත්‍යවරයා ඊයේ ඇති වූ තත්ත්වය සුළං සුළං හෝ සුළු කුණාටුවක් බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද එහි සත්‍යතාවයක් නොමැති බවත් පෙන්වාදෙයි.
තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදු ව ඇතැයි ද එම කටයුතු යළි යථාතත්ත්වයට පත්කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කොට ඇතැයි ද අනුර යාපා මහතා පැවසීය.

Read more

Local News