නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් නමැති සමාගමක ආයෝජනය කළේයැයි සැක කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝම්බර් මස 24 වන දා දක්වා අත්හිටුවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම විදේශ ගමන් තහනම ලබන ඔක්තෝබර් 24 වනදා දක්වා අත්හිටුවීමට නියම කළේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල ලබන ඔක්තෝම්බර් මස 24 වනදා කැඳවීමට නියම කෙරුණු අතර එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියම කළේය.

Read more

Local News