අපි ස්වාමින් වහන්සේලා කඩේ යවන්නේ නෑ

25

සියලු ආගම්වලට අයත් ආගමික ස්ථාන දියුණු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

අද(23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

ගම්පෙරළිය වැඩසටහනින් හා සංස්කෘතික අමාත්‍යාංශය තුළින් මේ රටේ ගම්වල දාහස් ගණනක් වෙහෙර විහාර දියුණු කිරීමට මුදල් ආධාර ලබා දී ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, අඩුම තරමින් පන්සලේ දායක සභාව හෝ එය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් කරන ලද දෙයක් බව නොදන්නා බව ද කියා සිටියේය.

සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය සාසනාලය නැති බෞද්ධකම නැති, දේශීයත්වය නැති, අපේකම නැති අය ලෙස හැඳින්වීම සම්පූර්ණ බොරුවක් බව ද කියා සිටි මන්ත්‍රීවරයා, පන්සල් 1000කට අධික ප්‍රමාණයකට අවමය ලක්ෂ 5කට වඩා ලබා දී ඇතැයි ද පැවසීය.

එවැනි කාර්යන් සිදු කරන්නේ බෞද්ධකම නැතිකම නිසාවෙන් දැයි ප්‍රශ්න කර සිටි මන්ත්‍රීවරයා, තම පක්ෂය ස්වාමින් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයින් දේශපාලන කඩේ යැවීම් නම් සිදු කර නොමැති බව ද සඳහන් කළේය.

බෞද්ධ පන්සල්වලට සමගාමීව, අනෙකුත් ආගමික ස්ථානවලටත් වත්මන් ආණ්ඩුව උදව් කර ඇති බවත්, එය සැබෑ සහජීවනයේ ප්‍රතිමූර්තිය වන බවත් මරික්කාර් මහතා මෙහිදී පැවසීය.