වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද යළි විභාගයට ගැනේ

Share

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද(25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි.

අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි එල්ල වී තිබේ.

අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී චෝදනා වල බරපතලකම සහ මහජන කැලඹිමක් ඇතිවිය හැකි බැවින් සැකකාර වෛද්‍යවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුගියදා අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බවයි.

එමෙන්ම ෂාෆි වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට මව්වරුන් 850 කට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම මව්වරුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර, රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේය.

Read more

Local News