හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවයෙන් ග්‍රාම නිලධාරීන් හෙට සිට ඉවතට

Share

ග්‍රාම නිලධාරි සේවයට බලපාන ප්‍රධාන ගැටළු 13 කට විසඳුම් ලබා ගැනීම අරමුණු කර ගනිමින් සියලු ග්‍රාම නිලධාරි සංගම්වල සහායෙන් හෙට(01) දින සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය සඳහන් කරයි.

අද(31) මහනුවර දී, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති සුමත් කොඩිකාර මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සුමිත් කොඩිකාර මහතා මෙසේද සඳහන් කර සිටියේය.

“සියලු ග්‍රාම නිලධාරි සංගම් එක්ව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවත් වසර 55 කට වැඩි කාලයක් පුරා ග්‍රාමා නිලධාරි වෘත්තිය සංගම් රජයන් එක්ක සාකච්ඡා පවත‍්වා අපගේ ඉල්ලීම් සුහදශිලිය ලබා ගන්න උත්සාහ කළා.

වත්මන් රජයේ ඇමතිතුමා සහ ලේකම් තුමාලා හත් දෙනෙකු එක්ක මේ ගැන සාකච්ඡා කළා නමුත් අපේ ඉල්ලීම් ඉටු වුනේ නෑ.“

ග්‍රාම නිලධාරි සේවය වෙනම සේවයක් ලෙස ස්ථාපිත කර වැටුප් විෂමතාවය ඉවත්කිරීම, ග්‍රාම නිලධාරින්ගේ සියලු දීමනා වර්තමානයට ගැලපෙන අයුරින් වැඩි කිරීම, පැය 24 ක සේවායක් හිමි නිලධාරින් ලෙස සංයුක්ත දීමනාවක් ඇතුලත්ව බටා දීමනා ලබා ගැනිම, ලිපි ද්‍රව්‍ය දීමනාව සහ කාර්යාල දීමනා වැඩි කර ගැනීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 13 ක් මුල් කර ගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

හෙට සිට හැඳුනුම්පත් එක් දින සේවය යටතේ සිදු කරනු ලබන රාජකාරිවලින් වැලකී සිටීමටත්, තම පුද්ගලික දුරකථනයෙන් රාජකාරි කටයුතු කිරීමෙන් වැළකී සිටීමත් සිදු වන බවද කොඩිකාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හැඳුනුම්පත් රාජකාරි සඳහා රජයට අය වන ගාස්තුවෙන් සියයට 25 ක ප්‍රමාණයක් ග්‍රාම නිලධාරින්ට ලබා දුන් බවත් මේ වන විට හැඳුනුම්පත් සඳහා අය කරනු ලබන ගාස්තු වැඩි කර තිබුණත් ග්‍රාම නිලධාරින්ට ලැබෙන දිමනා වැඩි වී නොමැති බවත් එතුමා තවදුරටත් කියා සිටියේය.

දුරකථන දීමනාව වෙනුවෙන් පසුගිය වසරේ එක් මසක් පමණක් දීමනාවක් ලැබුණු බවත් එතැන් පටන් එම මුදල නොලැබුණ බවත් ඔහු පවසයි.

ග්‍රාම නිලධාරින් නියෝජනය කරන වෘත්තීය සමිති වන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය, උපාධිධාරි ග්‍රාම නිලධාරි සංගමය, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමය, රාජ්‍ය සේවා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය, සහ රජයේ ග්‍රාම නිලධාරි සංගමය යන සංගම් ඇතුළු සියලු සංගම් එක්ව පිහිටුවා ඇති ග්‍රාම නිලධාරි සංගම් එකමුතුව විසින් මෙම වෘත්තිය ක්‍රියාර්ගය දියත් කරන බවද කොඩිකාර මහතා මෙහිදී කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතාද මෙහිදී අදහස් දැක්වීය.

Read more

Local News