පාර්ලිමේන්තුවේ රස්තියාදු කාරයෝ පිරිසක් බිහි වෙයිද ?

Share

උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ නොමැති විට දී ඇතැම් වැදගත් තීන්දු තීරණ ගන්නා බැවින් එම තත්ත්වය වෙනස් කළ යුතු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

එමෙන්ම එය වෙනස් කළ හැක්කේ මැතිවරණයකදි ඡන්ද දායකයා සුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමෙන් බව අමාත්‍යවරයා පැවසීය.

එසේ නොමැති වුවහොත් පාර්ලිමේන්තුවේ රස්තියාදු කාරයෝ පිරිසක් බිහි කරමින් පසුව ඡන්ද දායකයාම ඔවුනට බැන වදිමින් සිටින බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී , පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභ්‍යාස ලාභී උපාධිධාරින් 129 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයා,

“අපේ රටේ වැදගත් තීරණ ගද්දි උගත් බුද්ධිමතුන් නැති අවස්ථා අපි දැකලා තිබෙනවා. තමුන්නාන්සේලාට මතක ඇති කාලයකදී මයික් කඩාගෙන පුටු පෙරලගෙන සත්තු වගේ හැසිරුණු ආකාරයක් තිබුනා.

සපත්තු විසික්කා කරගත්තු කාලයක් තිබුනා.ඇත්තටම දේශපාලන ක්ෂේත්‍රයේ උගත් බුද්ධිමතුන්ට මීට වඩා තැනක් හිමි විය යුතුයි.

අද ඡන්දෙ දෙන්නේ විවිධ විවිධ වෙනත් හේතුන් මත කැහ පොට ගහගෙන කුණු හරප දෙකක් තුනක් කියන්න පුළුවන් මිනිහට.

අද කසිප්පු පෙරලා , නැත්නම් කුඩු විකුනලා සල්ලි හොයලා පාටි දාලා තියෙන අයට මේ රටේ තැනක් තියෙනවා. බුද්ධිමතුන් කී දෙනාටද ඒ තැන අද තියෙන්නේ.

අපි කිවුවොත් බුද්දිමත් ආචාර්යවරයෙක් දේශනයකට එනවා කියලා කියෙන් කි දෙනාද ඊට සවන් දෙන්න සුදානම් වෙන්නේ.
අපිට මතකයි කැලණියෙත් මන්ත්‍රීවරයෙක් හිටියා සරම උස්සගෙන ගොනා බුරුවා හරකා කියලා මිනිසුන්ට කෑගහගෙන එන කෙනෙක් ඒවා බලන්න ඕනේ තරම් මිනිස්සු එනවා.

අපිට ඒකයි වෙලා තියෙන්නේ  රටක් හැටියට.පාර්ලිමේන්තුවටත් අවශ්‍ය වෙන්නේ තමුන්නාන්සේලා වගේ උගත් බුද්ධිමත් සංවර හැසිරෙන මිනිස්සු .

හැබැයි ඒක ඡන්ද දායකයාටත් ඡන්ද කාලයේදී අමතක වෙනවා. ඊට පස්සේ අපිට ලැබිලා ඉන්න දේශපාලඥයෝ අර වගේ මේ වගේ කියලා බනිනවා. හරි මනුස්සයෙකුට ඒ අවස්තාව ප්‍රයෝජනය ගන්නේ නැතුව රටේම රස්තියාදු කාරයෝ සියලු දෙනාම පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ පාර්ලිම්න්තුව මෙහෙමයි මෙහෙමයි කියලා අඩනවා.

ඉතින් අද තමුන්නාන්සේලාට රජයේ රැකියාවක් ලැබිලා තිබෙනවා. සමහර විට වැඩ කරද්දී වැඩ කරන්න වෙන මන්ත්‍රීවරයා තමුන් නාන්සේලාට වැඩිය බුද්ධි මට්ටමින් අඩු වෙන්න පුළුවන්. එක බොහෝ රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයක්.

සමහර රාජකාරි වලදී නියෝග කරනවා  රාජ්‍ය සේවකයාට. සමහර විට මන්ත්‍රීවරයාට,  ඇමතිවරයාට තේරෙන්නේත් නෑ.  ඒ වැඩේ කරලා නැති වුනොත් බනිනවා. ඒ වගේ අවසනාවන්ත තත්වයකට රට පත් වෙලා තිබෙනවා.

ඉතින් මම අලුත් උපාධි ධාරීන්ට කියන්නේ රට යන මාවත වෙනස් කරන්න උත්සහ කරන්න. දැන් පවතින තත්වයට වඩා පාර්ලිමේන්තුවත් එසේ වෙනස් විය යුතුයි”

Read more

Local News