සටන් පාඨවලින් රට දියුණු කරන්න බෑ – අගමැති

Share

නවීන තාක්‍ෂණය යොදා ගන්නා අපනයන ආර්ථිකයක් මඟින් අනාගත ලෝකය ජය ගැනීමට උත්සාහයෙන් වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද(07) දින සපුගස්කන්ද තෙල් පිරිපහදුවට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් එම පරිශ්‍රයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

සටන් පාඨවලින් රටක් දියුණු කළ නොහැකි බව පැවසූ වික්‍රමසිංහ මහතා උත්සාහයෙන් හා කැපවීමෙන් අනාගතයට විශාල පිම්මක් ගෙන රට දියුණුව කරා ගෙන යාමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද පැවසීය.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, දිවංගත අග්‍රාමත්‍ය ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ පිළිරුවක් නිරාවරණය කර පුෂ්පෝපහාර දැක්වීය.

එම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“ඉන්දියන් සාගරය හරහා දෛනිකව විශාල නෞකා ප්‍රමාණයක් ගමන් කරනවා. ඒ පිළිබඳව අවධානය යොමු කර කලාපයේ විශාල වරායක් වන කොළඹ වරාය හරහා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව දක්වා ගමන් ගන්නා නෞකාවලට අවශ්‍ය පහසුකම් හා සේවා ලබා දෙමින් දියුණුවක් ඇති කරගත යුතුයි.

රට ඉදිරියට ගෙන යාමට නම් උත්සාහයෙන් කටයුතු කළ යුතු වෙනවා. එම උත්සාහය ඇති කර ගැනීමට ශක්තිය හා කැපවීම අවශ්‍ය වනවා. එසේ කටයුතු කිරීමට නොහැකි නම් රට පිරිහීමට ලක්වන බව කිව යුතුයි. එම නිසා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරිපත් කරනවා.”

එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් වූ සෑම අවස්ථාවකදීම සපුගස්කන්ද තෙල් පිරිපහදුව දියුණු කිරීමට ඍජුව කටයුතු කළ බව මෙහිදී පැවසූ මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා, තෙල් නල පද්ධතිය අලූත්වැඩියා කිරීම, කටුනායක ගුවන් තොටුපොළ දක්වා ජෙට් යානාවලට ඉන්ධන ප්‍රවාහනය සඳහා නළ පද්ධතියක් ඇති කිරීම, මන්නාරම ස්වභාවික වායු නිධි ව්‍යාපෘතිය කඩිනම් කිරීම ඇතුලූ විශාල වැඩ කොටසක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නේය.

1994 සිට 2014 දක්වා බලයට පත්ව දීර්ඝ කාලයක් රට පාලනය කළ නායකයින් තෙල් පිරිපහදුව වෙනුවෙන් ආයෝජන සිදු කළේ නම් ඉන්ධන කාන්දුවීම් වැනි ගැටලූ ඇති නොවන බව පෙන්වා දුන් කබීර් හෂීම් මහතා, ඒ වෙනුවට වී වේලන මහා මාර්ග, ක්‍රීඩා නොපැවැත්වෙන ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ නොපැවැත්වෙන සම්මන්ත්‍රණ ශාලා ඉදිකළ බව පැවසීය.

Read more

Local News