ව්‍යාජ ගමන් බලපත්‍රවලින් ප්‍රංශයට යන්න ගිය ඉරාන ජාතිකයින් 02ක් අල්ලයි

Share

ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.

ඊයේ (22) සවස මෙම 28 හැවිරිදි ඉරාන ජාතික තරුණිය සහ 18 හැවිරිදි ඉරාන ජාතික තරුණයා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.-730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු සඳහා පැමිණෙන බව පවසමින් මෙරටට පැමිණි ඔවුන් දෙදෙනා, තමන් ප්‍රංශ ජාතිකයන් බව හඟවා ඇත.

දින කීපයක් මෙරට තුළ ගත කිරීම සඳහා රට තුළට ඇතුළු වීමට මෙම ප්‍රංශ ජාතික ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර, ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළු දෙකක් වෙත ඉදිරිපත් කර නිලධාරීන් නොමඟ යැවීමට මොවුන් උත්සාහ කර ඇත.

එහිදී එම නිලධාරීන් මෙම ගුවන් ගමන් බලපත්‍ර සිය පරිගණක පද්ධතියට යොමු කළ විට, ඒවා ජාත්‍යන්තර පොලීසියේ (Interpol)රතු දත්ත ලේඛනයට ඇතුළත්ව ඇති ඒවා බවට ප්‍රකාශ වී ඇත.

ඉන්පසු වහාම මෙම තොරතුරු කොළඹ පිහිටි ජාත්‍යන්තර පොලිස් තොරතුරු කාර්යාංශය වෙත යොමු කර, එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇත.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත මෙම ගුවන් ගමන් බලපත්‍ර යොමු කළ විට එහි තිබූ ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍ර වල ඇති ජායාරූප වලට කිසියම් සමාන කමක් මොවුන් දෙදෙනාට ඇති බැවින්, ඔවුන් මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර යොදා ගෙන ප්‍රංශය වෙත පලා යෑමට උත්සාහ ගන්නා බව තහවුරු වී ඇත.

ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර ඇසුරෙන් මොවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කීපයක් විමසා ඇති අතර ඉරාන ජාතික තරුණිය ඇය සතුව පැවති යම්තාක් දුරකට ප්‍රංශ භාෂාව හැසිරවීමේ හැකියාව උපයෝගී කරගෙන එම ගමන් බලපත්‍රයේ ඉහළින්ම ඇති “ප්‍රොන්සේ” යන වචනය ඉතා අපහසුවෙන් කියවා ඇත.

පසුව මොවුන්ගේ ගමන් මළු වැඩිදුරටත් පරීක්ෂා කිරීමට ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදී එහි සඟවා ගෙන තිබූ ඔවුන්ගේ සැබෑ ඉරාන ජාතික ගුවන් ගමන් බලපත්‍ර සොයා ගැනීමට සමත්ව ඇත.

එහෙත් ඔවුන් තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට යොදා ගෙන තිබූණේ ද, එම ඉරාන ජාතික ගුවන් ගමන් බලපත්‍ර බව, මෙහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙසේ ව්‍යාජ ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින්, මොවුන් දෙදෙනා ප්‍රංශය වෙත යෑමට මෙරටට පැමිණි බව තහවුරු වූ බැවින්, ඔවුන් සතුව තිබූ ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍ර දෙක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන ඇත.

පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තුර්කි ගුවන් ගුවන් සේවයේ ටී.කේ.- 731 දරන ගුවන් යානයෙන් ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පිටුවහල් කිරීමට ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවරගෙන ඇත.

ගුවන් තොටුපළ එදින සේවය කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩබ්ලිව්.පී.එන්.වීරසිංහ සහ එච්.එම්.ඩබ්ලිව්.උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.ඒ.සී.පී.පතිරාජ සහ බී.එම්.ගාල්ලගේ යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත.

Read more

Local News