සිවාජිලිංගම්ගේ ප්‍රකාශයකට එරෙහිව OCPD නීතිපති උපදෙස් ගන්න පියවර

Share

පසුගිය මාර්තු මාසයේ පැවති ජීනිවා නුවර මානව හිමිකම් සමුලුවේ අතරමැදි සාක්චඡාවක දි මෙරට නියෝජිත පිරිසකට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතාට එරෙහිව ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන ආරම්භ කිරිම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිදුවීම රටින් පරිබාහිරව සිදුව ඇති බැවින් ඊට අදාළව නීතිපති උපදෙස් ලබාගැනීමට සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පසුගිය 02වන දා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට ද කටයුතු කර තිබේ.

ඒ අනුව එම ප්‍රකාශය සහ ඔහු විසින් පසුගිය මාර්තු මාසයේ පැවති ජීනිවා නුවර මානව හිමිකම් සමුලුවේ අතරමැදි සාකච්ඡාවක දි මෙරට නියොජිත පිරිසකට සිදුකළා යැයි කියන ප්‍රකාශය නීතිපතීවරයා වෙත යොමුකිරීමට එම කොට්ඨාශය පියවර ගෙන ඇත.

මෙරටින් පරිබාහිරව සිදුකර ඇති මෙම  ප්‍රකාශය පිළිබද  විමර්ශන ආරම්භ කළ හැකි ද යන්න පිලිබද නීතිපති වරයා ලබාදෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පැවසුවේය.

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා විසින් මෙරට ඒකීයභාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට මෙම පැමිණිල්ල සිදුකර ඇත.

Read more

Local News