රූපවාහිනිය පවරා ගැනීමේ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලීමක්

Share

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව  ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

සියලු රූපවාහිනී නාලිකාවලට (ටෙලිවිෂන්) බලපත්‍ර ලබාදෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත යටතේ බව පෙන්වා දෙන එම සංගමය එම බලය පැවැරී ඇත්තේ පනත ක්‍රියාත්මක කරන අමාත්‍යාංශය බාර අමාත්‍යවරයාට බවද පවසයි.

නව පවරා ගැනීමත් සමඟ රූපවාහිනි බලපත්‍ර (ටෙලිවිෂන්) ලබාදීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශය භාර ජනාධිපතිවරයාටම පැවරෙන බවත් එම සංගමය පවසයි.

එසේම මේ සියල්ල නියාමනය කිරීමට බලය ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත ක්‍රියාත්මක කරන්නේ ද ආරක්ෂක අමාත්‍යාංශය බවද ඔවුන් පෙන්වා දෙයි.

ඉදිරියේදී ජනාධිපතිවරණයක් ඇතුළු මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබියදී සහ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය සැකයට තුඩු දෙන්නක් බවද ඔවුන් පවසයි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථා පනත ක්‍රියාවට නැංවීම ආරක්ෂක අමාත්‍යාංශයට පවරමින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ජනමාධ්‍ය විෂයට අදාළව කැබිනට් අමාත්‍යවරයකු පත් කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News