බෝල්ටන් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් ඉවතට

Share

ජෝන් බෝල්ටන් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ධුරයෙන් ඉවත් කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ ය.

ඒ, ජෝන් බෝල්ටන් සහ තමාගේ අදහස් කිසිසේත්ම නොගැළපෙන බව පවසමිනි.

ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජෝන් බෝල්ටන්ගෙන් තමන් ඉල්ලීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් අතර, ලබන සතියේදී ජාතික ආරක්ෂක උපදේශක ධූරයට වෙනත් අයෙකු පත්කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් වෙබ් අඩවිය වෙත පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියයේ ය.

කෙසේ වෙතත් ජෝන් බෝලටන් අවධාරණය කලේ සිය කැමැත්තෙන් සිය ධූරයෙන් ඉවත්වූ බවයි.

ඇෆ්ඝනිස්ථානය සහ ඉරානය මෙන්ම වෙනත් ගෝලීය අභියෝග ගණනාවකදී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ජෝන් බෝල්ටන් එකිනෙකාට පරස්පරවිරෝධී මතයන් දැරූහ.

අමෙරිකානු ජනාධිපතිවරයාට උපදෙස් ලබාදෙන ජාතික ආරක්ෂක කවුන්සිලය, ජෝන් බෝල්ටන් ගේ පාලනය යටතේ ධවල මන්දිරයෙන් වෙන්වූ වෙනත් ඒකකයක් ලෙස කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ජනපති ට්‍රම්ප් ගේ හිටපු පරිපාලන නිලධාරියකු සඳහන් කලේ ජෝන් බෝල්ටන්, ධවල මන්දිරයෙන් වෙන්ව ක්‍රියාකරන අතර, තමන්ට ආවේනික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරමින් හමුවීම් සඳහා සහභාගීවීමෙන්ද වැලකුණු බවයි .

2018 වසරේ අප්‍රේල් මාසයේ සිට මෙම ධූරයේ සේවය කල ජෝන් බෝල්ටන් , ජනපති ට්‍රම්ප් ගේ පාලන සමය තුල තේරී පත්වූ තුන්වන ජාතික ආරක්ෂක උපදේශකවරයායි .

අමෙරිකාවේ නව වැඩබලන ජාතික ආරක්ෂක උපදේශක ධූරයට චාල්ස් කූපර්මන් පත්කරනු ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ ය.

Read more

Local News