එජාපෙ ජනපතිධුර අපේක්ෂකයා තේරීම හවුල් පක්ෂ අතට ?

Share

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂයා රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙක්ද යන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ හවුල්කාර පක්‍ෂවල එකඟතාව මත සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පෙරේදා (08දා) රාත්‍රියේදී පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ධුරයට තමන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව සජිත් ප්‍රේමදාස මහතා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදී දැනුම් දි තිබේ.

මේ පිළිබඳව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට සහාය දෙන හවුල්කාර පක්‍ෂවල එකඟතාව හා සහයෝගය ලැබෙන අපේක්‍ෂකයා ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස නම් කිරීම වඩාත් සුදුසු බවයි. නායකයින් දෙදෙනා  ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අවසානයේ දී ඒ සඳහා එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි දිනවලදී එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂවල නායකයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත අතර, ඔවුන්ගේ එකඟතාව පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

එලෙස හවුල්කාර පක්‍ෂ සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රතිඵල මත පක්‍ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා අවසන් තීරණයකට පැමිණීමට නියමිතව ඇති බවටද වාර්තා වේ. එමෙන්ම, මෙහිදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ එකඟතාවද තීරණාත්මක සාධකයක් බව පැවසේ.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර පැවැති සාකච්ඡාව ඉතා සුහදව පවත්වා තිබේ.

මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම්  වුවොත් එජාප නායකත්වය සහ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීම පිළිබඳව සාකච්ඡා වී ඇති බවද වාර්තාවේ. පක්ෂයේ දීර්ඝ කාලීන නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන පරිදි පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්  කිරීම කෙරෙහිද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.

එසේම එක්සත් ජාතික පක්‍ෂය සහ හවුල්කාර පක්‍ෂවල එකමුතුවෙන් නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාව මේ වනවිට අවසන් කර ඇති අතර, එහි ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරමින් සිටින බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහාය දෙන පක්‍ෂද මේ වනවිට ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් සහ තම සහාය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News