මහින්ද හා රනිල් දේශපාලන සීයලා

Share

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව චෝදනා ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා පවසයි.

අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වු ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සංවිධාන කළ, “වැඩකරන ජනතා සමුළුව”  දී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ පොදුවේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට සමාජයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙන නමුත් අනුර කුමාර මහතා තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් දේශපාලනය නොකළ අයෙක් බවයි.

වයස් ගත වු පුද්ගලයින්ට දේශපාලන වෘත්තිය නොගැළපෙන බවත් ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.

“මේ රටේ ඉන්නවා දේශපාලන සීයලා ටිකක්. මහින්ද රාජපක්ෂ දේශපාලන සීයා කෙනෙක්. රනිල් වික්‍රමසිංහ කියන්නෙත් දේශපාලන සීයා කෙනෙක්.

අපේ රටේ අවුරුදු 70ක් වත් පැන්නට පස්සේ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට සාකච්ඡාවක් තියෙනවා.

අනුර කුමාර සහෝදරයා ඒ ගොඩට වැටෙන්නේ නෑ. ඔහු තාරුණ්‍යයේ දේශපාලන හඬ නියෝජනය කරමින් තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා විදිහට වේදිකාවේ ඉන්නේ.

අනුර කුමාර සහෝදරයා මේ රටේ විශ්ව විද්‍යාලයක උපාධිය ලබා ගත් සුදුසුකම් සහිත අපේක්ෂකයෙක් බව කැත නැතුව කියන්න පුළුවන්.

අනුර කුමාර සහෝදරයාට දැන් ගොඩක් අය කියන්නේ ඒ. කේ. ඩී. කියලා.

ලංකාවේ දේශපාලනයේ අනාගත බ්‍රෑන්ඩ් එක තමයි ඒ ඒ. කේ. ඩී. කියලා කියන්නේ.”

මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාට වැඩ කරන ජනතාවගේ සහයෝගය ලබාදිය යුතු බවට වන යෝජනාවක් සම්මත කෙරුණි.

Read more

Local News