ජවිපෙ සීනුව ලකුණ අත්හරිද ?

Share

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරග කරන බවජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවමු සංවාදශීලී ජනහමුව මැයෙන් සූදානම් කර තිබූ ජන බලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින් ලාල්කාන්ත මහතා මේ බව සඳහන් කළේය.

ස්වේච්ඡා සංවිධාන 30 ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදු කරන බවත් මාර්තු මාසය පමණ වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බවද අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජන බලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද හෙතෙම කියාසිටියේය.

මෙරට දේශපාලනය කරන කිසිදු අයෙකුට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටහැර අන් අයට ගරු යන නාමය ලබා දිය නොහැකි බව ද සදහන් කළේය.

ජනාධිපතිවරයාට අගමැතිවරයාට ගරු යන නාමයෙන් හඳුන්වන්නේ මෝඩයා සහ වන්දිභට්ටයන් බවද හෙතෙම සඳහන් කළේය.

තම ජනාධිපති අපේක්ෂකයාට ගරු නාමයෙන් හැඳින්විය හැකි බවත් ඔහු වසර විස්සක පාර්ලිමේන්තු කාලයක් ගත කළ බවත් වසර 30ක දේශපාලන පන්නරයක් ලබා තිබෙන බවත් දේශපාලනයෙන් ලැබෙන සියලුම මුදල් පොදු ගිණුමකට යොදවා ඒවා මහජනතාව වෙනුවෙන් වියදම් කිරීම සිදු කරන නිසා අනුර කුමාර දිසානායක මහතාට ගරු යන වචනය ලබාදිය හැකි බවත් අන් කිසිදු අයෙකුට එසේ ලබා දීමට නොහැකි බවද ලාල් කාන්තමහතා සඳහන් කළේය.

Read more

Local News