කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළට

Share

පවතින අධික වර්ෂාවත් සමග කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, ඒ පිළිබඳ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

මේ අතර දිස්ත්‍රික්ක 4 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, නායයාම් ලක්ෂණ පවතින ප්‍රදේශවලින් ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බවයි.

මේ අතර දිවයින ආශ්‍රිත වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින වැසි සහ අධික සුළං සහිත තත්ත්වය හමුවේ, දකුණ , නිරිත සහ ගිනිකොන දිග මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රෙද්ශයේ ධීවර කටයුතුවල නිරත ධීවර යාත්‍රා ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

Read more

Local News