ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම තහනම් කරන්න පෙත්සමක්

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

ඇල්පිටිය ප්‍රදේශය තුළ පදිංචි හේෂාන් නයනජිත් ඇතුළු ඡන්ද දායකයින් තිදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවයි.

ඊට අමතරව 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙම කරුණු මත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News