රටක ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමයි

රටක ප්‍රමුඛතම කාර්යය විය යුත්තේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පොළොන්නරුව ප්‍රදේශයේ පාසල් ගොඬනැගිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකට එක්වෙමිනි.

රටේ ඇති සියලුම ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ දරුවන්ට දෙන අධ්‍යාපනය තුළින් හා රටේ උගතුන් වැඩි කිරීමෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

උගත්කමත් සමඟ ප්‍රශ්න විසඳීමේ හැකියාව පෞද්ගලික ජීවිතවලට මෙන්ම රටට ද ලැබෙන බවත් ඒ මහතා කියා සිටියි.

එම නිසා අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම කෙටි කාලීන නොව දීර්ඝ කාලීන ආයෝජනයක් බව ඒ මහතා පවසයි.

ලංකාවේ අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ තමන් බලයට පත්වීමෙන් පසුව බවත් මීට පෙර කිසිදු ආණ්ඩුවක් විසින් වියදම් නොකළ මුදලක් තමන් බලයට පැමිණීමෙන් පසු පාසල් හා විශ්වවිද්‍යාල වෙනුවෙන් වියදම් කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතරම දෙමාපියන් විසින් දරුවන් සමාජයේ ඇති විශමතාවලින් රැකබලා ගත යුතු බවත් සමාජයේ ඇති නොයෙක් නීති විරෝධි කටයුතුවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම අභියෝගයක් බවත් ජනාධිපතිවරයා පවසයි.

එසේම පාසල්වල පවතින අඩු පාඩු සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීම් සිදු වන බව පැවසු ජනාධිපතිවරයා “අවුරුද්ද අවසානේ නිසා සල්ලි ඉවරවෙලා තියෙන්නේ අපි ළඟ. ලොකු වැඩ කරන්න බෑ.”යනුවෙන් පැවසීය.

ඒ අනුව විශාල ව්‍යාපෘති වෙනුවෙන් මේ වන විට මුදල් යෙදවීම අපහසු බැවින් තමා වෙත ඉල්ලීම් සිදු කළ පාසල් දෙකක් වෙත ලක්ෂ 10 බැඟින් යෙදවීමට ඉදිරියේදී කටයුතු සළසන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.