ඇල්පිටියේ ඡන්දය නවත්වන්න ගොනු කළ පෙත්සම සලකා බැලීම හෙට

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා හෙට(25) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද(24) බුවනෙක අලුවිහාරේ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී මෙම නඩුවට අදාළව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කරන හෙයින් මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සුදුසු බව විනිසුරුවරු දෙදෙනා විසින් සිදු කරන ලදී.

ඒ අනුව අදාළ පෙත්සම හෙට දින සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලෙසද නියෝග කළේය.

ඇල්පිටිය  ප්‍රදේශය තුළ පදිංචි  යේෂාන් නයනජිත් ඇතුළු ඡන්දදායකයින් තුන්දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් හතරදෙනා සහ ඈල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය භාර තේරීම්භාර නිලධාරියා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම සිදු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බවයි.

එබැවින් අදාළ දින නියම කිරීම නීතියට පටහැනි බවද ඔවුන් පෙන්වා දෙයි.

ඊට අමතරව 2017 වසරේ කැඳවනු ලැබූ නාම් යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී යැයි ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මෙම කරුණු මත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Read more

Local News