SLFP හා SLPP සන්ධානගත වෙනවනම් පොහොට්ටුව ලකුණින් බෑ

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට එකඟවන්නේ නම් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තියට දර්ශනයට හානිවන හෝ පාක්ෂිකයින්ට අනාගතයක් අහිමිවන කිසිදු වැඩපිළිවෙළකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹීමට සූදානම් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් ඊයේ (29) පස්වරුවේ කුරුණෑගල පැවැති  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ ද නොයෙක් අවස්ථාවල පසුබෑමට ලක්වුව ද පක්ෂය කිසිදා මිය නොගියේ එහි ජනතාවාදී වැඩපිළිවෙළ නිසා බවද ජනපතිවරයා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද දුර්වල වී ඇති බවට කවුරුන් කෙසේ කීව ද ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා ඊළග ජනාධිපතිවරයා පත් වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉලක්කය වන්නේ අද තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියේ දී බලතල නැති ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට වඩා බලතල ඇති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා 2020 දී පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීම බවද ජනපතිවරයා සඳහන් කළේය.

තනිව නොව පෙරමුණු ආණ්ඩුවක් තුළ එම ඉලක්කය ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා දූෂිත ප‍්‍රභූ පංතියේ එකතුව විසින් විනාශ කර දමා තිබෙන මාතෘ භූමිය නව මගකට යොමු කරමින් දුෂණයෙන් වංචාවෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් සහ කිසිදු විදේශ බලවේගයකට ගැති නොවන රටක් ගොඩනැ`ගීමට නව ආණ්ඩුවෙන් කටයුතු කරන බව ද කියා සිටියේ ය.

වත්මන් ආණ්ඩුව තුළ අද පවතින ගැටුම අග‍්‍රාමාත්‍යවරයා හා තමා අතර පවතින පුද්ගලික ගැටුමක් නොව දූෂණයට සහ වංචාවට විරුද්ධව තිබෙන ගැටුමක් මෙන්ම අන්ත දූෂිත නව ලිබරල්වාදී දේශපාලන ප‍්‍රතිපත්තියක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ජනතාවාදී දේශපාලන ප‍්‍රතිපත්තිය අතර තිබෙන ගැටුමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට තමා කටයුතු කළ ද, ඔවුන් භාරගත් කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට ඔවුන්ට නොහැකිවීම තමාගේ ගැටලුවක් නොවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා අද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයේ කටයුතු කරන්නේ ද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැදී සිටින්නේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කථානායකවරයා වෙත ලබාදී ඇති ලිපියෙන් බව ද සිහිපත් කර සිටියේය.

Read more

Local News