මගේ වටේ ඉන්නේ රටේ බුද්ධිමත්ම පිරිසක් – මහේෂ්

Share

රට ඉතාම කෙටි කාලයක දී වෙනස් කළ යුතු ආකාරය පිළිබඳ වු පිඹුරුපත් මේ වන විටත් සකසා අවසන් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති අපේක්ෂක, හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා අද අස්ගිරි මහනායක හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, පක්ෂ දේශපාලනයෙන් තොර රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි කණ්ඩායමක් තමා වටා එක් වී සිටින බවයි.

පක්ෂ දේශපාලනය හේතුවෙන් රට මේ තාක් කාලයක් දුප්පත් රටක් ලෙස පැවති බවත් ජනතාව බෙදා වෙන් කර ත්‍රස්තවාදය නිර්මාණය කිරීමට හේතු වන්නේ ද පක්ෂ දේශපාලනය බවත් ඒ මහතා පවසයි.

තමන් ඇතුළු කණ්ඩායම පැමිණ සිටින්නේ දේශපාලකයින් ලෙස නොව දේශ සේවකයින් ලෙස බවත් එම වචනය ජන ගත කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා තමා වටා සිටින පිරිස රටේ බුද්ධිමත්ම පිරිසක් බවත් සිවිල් සංවිධාන 30කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් තමා වටා එක් රොක් වී සිටින බවත් පැවසීය.

එසේම මහ නායක ස්වාමීන් වහන්සේලා, කාදිනල් තුමා, මවුලවිවරුන් අත්සන් කරන ලද සංදේශයේ සඳහන් ආකාරයට මේ රටේ ජනාධිපතිවරයා වීමට අවශ්‍ය සුදුසුකම් යම් ප්‍රමාණයක් තමන් සපුරා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

රට ඉතාම කෙටි කාලයක දී වෙනස් කළ යුතු ආකාරය පිළිබඳ වු පිඹුරුපත් මේ වන විටත් සකසා අවසන් කර ඇති බව පැවසු මහේෂ් සේනානායක මහතා ලබන සතිය වන විට එය ජන ගත කිරීමට සූදානම් බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා සේම ඉන් නොනැවතී ඉදිරියට ද මෙම ජනතා ව්‍යාපාරය ගෙනයාමට කටයුතු කරන බවත් පසුව ඉදිරි මහ මැතිවරණයේ දීත් මෙම කණ්ඩායම් ඉදිරිපත් වීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ දැවෙන ප්‍රශ්න වන ජාතික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, පරිසරය සුරැකිම, සෞඛ්‍ය, ආදී සියලු කරුණු ඇතුළත් වු පුළුල් වපසරියක් තුළ තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.

එසේම රට තුළ අධ්‍යාපන විප්ලවයක් ඇති කිරීමට ද සාකච්ඡා සිදු කරමින් පවතින බවත් මහේෂ් සේනානායක මහතා කියා සිටියේය.

Read more

Local News