පාකිස්තානයට ගිය අපේ ක්‍රීඩකයින්ට ලක්ෂ 100ක මුදලක්

Share

එක්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට ක්‍රීඩා කිරීමට ජීවිත අවදානම සහිතව පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රු. ලක්ෂ 100ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුවට යෝජනාවක් ගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට මෙම සංචාරය සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් 50,000ක (ආසන්න වශයෙන් රු. ලක්ෂ 90ක) මුදලක් ගෙවීමට යෝජනා කර තිබුණු අතර, ඊට අමතරව ජය ගන්නා එක් තරගයකට ඇමෙරිකානු ඩොලර් 15,000 බැගින් ගෙවීමටද යෝජනා වී තිබුණි.

මීට අමතරව මෙම සංචාරය සඳහා සහභාගී වූ සෑම ක්‍රීඩකයෙකුටම සහ නිලධාරියෙකුටම රු. ලක්ෂ 1800කට වැඩි රක්ෂණාවරණයක් ලබාදීමටද වත්මන් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙහිදී ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ ජීවිත වටිනාකම පිළිබඳව සැලකිල්ලට ගනිමින් මරණයට පත්වීම්, සම්පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීම්, අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම් මෙන්ම ප්‍රාණ ඇපකරුවෙකු ලෙස අල්ලාගැනීම්, පැහැරගැනීම්, ගුවන් කොල්ලකෑම් සහ යුදමය තත්ත්වයන්ද රක්ෂණාවරණයෙන් ආවරණය කර තිබේ.

එමෙන්ම යෝජිත රක්ෂණාවරණයෙන් සියයට 50ක මුදලක් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ගෙවීමටද එකඟතාව පළව ඇතැයි වාර්තා වේ.

Read more

Local News