ගුරු සේවයට නවක ගුරුවරුන් 729ක්

Share

රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරී ගුරුවරුන් 729ක් අලුතින් බඳවාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථා පුළුල් කිරීම සදහා පාසල් විෂය මාලාව තුළ විදේශ භාෂා ඉගෙනීම ප්‍රචලිත කිරීම, විදේශ භාෂා උගන්වන පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීම, දැනටමත් පාසල් තුළ ස්ථාපිත කර ඇති භාෂා විද්‍යාගාර ඵලදායී ලෙස භාවිත කිරීමට ඉඩප්‍රස්ථා සලසාදීම, භාෂා සම්බන්ධයෙන් තෘතීයික අධ්‍යාපන අවස්ථා වෙත සිසුන් යොමුකරවීම ඇතුළු අරමුණු රැසක් මුල්කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ සම්බන්ධව 2019/ED/E/08 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ වනවිට ලැබී තිබේ.

දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදුකෙරෙන ජාතික පාසල්වල සහ විදේශ භාෂා ඉගැන්වීම සඳහා යෝජිත ජාතික පාසල්වල 10-11 ශ්‍රේණිවල සහ උසස් පෙළ ශ්‍රේණි සඳහා මෙම නවක උපාධිධාරී ගුරුවරුන් යොදවනු ලැබේ.

පාසල් විෂය මාලාව තුළ මේ වනවිට ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන් සහ අරාබි භාෂා මෙන් ම 2016 වසරේ සිට කොරියානු භාෂාව ද ඉගැන්වීමට පියවර ගෙන ඇත. අනාගත රැකියා ලෝකය තුළ සිසු දරුවන් නිරතවන වෘත්තීය ක්ෂේත්‍ර රැසක දී විදේශ භාෂා භාවිතයෙහි සමත්වීම අත්‍යවශ්‍ය කරුණකි. මේ නිසා වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් ගෝලීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනය තුළින් වැඩි දායකත්වයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් වන හෙයින්, ඒ සඳහා මෙරට පාසල් සිසුන් වෙත විදේශ භාෂා ඉගැන්වීම් අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් මෙම ගුරුවරුන් බඳවා ගැනීමට පියවර ගනු ලැබිණි.

Read more

Local News