ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීමට කැබ්නට් අනුමැතියට

Share

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ලෙස වෙනම සේවාවක් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ  අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා ඊයේ (29) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට මෙන් ම විෂය මාලා නවීකරණයේ දී හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නියාමනය කිරීමට ගුරු උපදේශකවරුන්ගෙන් ඉමහත් දායකත්වයක් ලැබෙයි.

1960 දශකයේ සිට මේ දක්වා ගුරු උපදේශක කාර්යය පවතින අතර 2007 වසරේ සිට මේ සඳහා වෙනම සේවාවක් ස්ථාපනය කරන ලෙසට විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත්, මෙම සේවාවේ වැදගත්කම හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2016 වසරේ සිට මේ සම්බන්ධ ව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ස්ථාපනය කිරීමට හැකි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව සඳහා උපදේශකවරුන් 4,471ක් බඳවාගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හා නව සේවාවට අයත් වැටුප් තලයෙහි පිහිටුවීමට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතිය ලැබී තිබේ.

කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මෙම ගුරු උපදේශකවරුන් ජාතික මට්ටමින් විධිමත් ව බඳවාගෙන, තෘප්තිමත් සේවා දායකත්වයක් පාසල් පද්ධතිය වෙත ලබා ගැනීමට හැකිවන අයුරින් කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙස තමා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි.

Read more

Local News