රට පාලනය කළ හැකි එකම පක්ෂය එජාපය බව රවී කියයි

Share

රට පාලනය කළ හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි ජනතාව දන්නා බව එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) පෙරවරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේදී, වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

“අද මොනදේ නැතිවුණත්, ජනතාවට බියෙන් සැකයෙන් තොරෙව ජීවත්වීමේ අයිතිය අපි ලබාදීලා තිබෙනවා. මේක තමයි අපි ලැබුව මිල කරන්න බැරි ලොකුම ජය.

ප්‍රතිවාදී කණ්ඩායම් දුරස්ථ පාලකයන් මගින් රට පාලනය කරද්දි, එක්සත් ජාතික පක්ෂය සෑම අවස්ථාවකම අපි ජනතාව සමගම සිටින නිසා, ජනතාව දන්නවා අපි තමයි මේ රට පාලනය කරන්න පුළුවන් එකම පක්ෂය කියලා.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනුත් අද අපි සමගයි. අපි සමඟ නැත්තේ පොදු ජන පෙරමුණ පමණයි.

ජනතාව තුළ අප කෙරෙහි යම් අපහැදීමක් තිබුණානම්, ඒ සියලු දේ ඉවත්වෙලා, ඉතාමත් සීග්‍රයෙන් ජනතා විශ්වාසය සහ කැමැත්ත එක්සත් ජාතික පෙරමුණට ලැබෙන ස්වභාවයක් තමයි අපට දකින්නට තිබෙන්නේ.

ප්‍රතිවිරුධ පක්ෂ වෙතින් ජනතාව ඉදිරියේ එළිදක්වන ඉටුකරන්න බැරි අසත්‍ය පොරොන්දු ඉදිරියේ, අපේ ප්‍රතිපත්ති සහ අප විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු කෙරෙහි ජනතාවගේ කැමැත්ත මේ වනවිට හිමිවෙලා තිබෙනවා.

ප්‍රතිවාදි කණ්ඩායමට පුළුවන් බිල්ලෝ මවන්න විතරයි. ඔවුන් හැමදාමත් කරන්නේ ඒ දේ තමයි. එම්.සී.සී. ගිවිසුම් ඇති කළේ ඔවුන්. එයාලා බලයෙන් ඉවත්වූ අවස්ථාවේ ඔවුන් ආරම්භ කළ දේ ඉදිරියට ගෙනයන එකයි අපි කලේ.

නමුත් මෙමගින් රටේ ඒකීයබාවයට හානියක් වීමක් හෝ, ඉඩම් අහිමිවීමක් හෝ එවැනි කිසිම හානියක් නැහැ.

මම ඔවුන්ට කියනවා, ඒ වගේ හානියක් වෙලා තිබෙනවානම්, සාධක සහිතව ඒවා ඔප්පු කරලා පෙන්වන්න කියලා. දැන් අපිට ඇගිල්ල දික් කෙරුවට, එයාලා අය තමයි මේවා කළේ” යැයි පැවසීය.

Read more

Local News