බිත්තර මිල ඉහළට ?

Share

කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන මහා පරිමාණ සමාගම් හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් හේතුවෙන් බිත්තර මිල හා පැටවුන් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව කුඩා පරිමාණ හා ස්වයං රැකියාලාභී කුකුළු ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

මෙම ජාවාරම්කරුවන්ට සහායක් වශයෙන් විදේශ රටවලින් කුකුළු පැටවුන් ගෙන්වීම හා මව් සතුන් ගෙන්වීම සීමා කිරීමට බලධාරීන් විසින් කටයුතු කර තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.

පැටවුන් නිෂ්පාදනය සීමා කිරීම නිසා රුපියල් හැත්තෑවක්, රුපියල් අනූවක් අතර මිලකට අලෙවි වූ කුකුළු පැටවෙකුගේ මිල මේ වනවිට රුපියල් එකසිය හැත්තෑ පහක්, දෙසිය පනහක් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද කුඩා හා ස්වයං රැකියාලාභී බිත්තර හා මස් නිෂ්පාදකයින්ගේ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

පවතින මිල ගණන්වලට කුකුළු පැටවුන් මිලදී ගෙන කර්මාන්තය කරගෙන යාමට නොහැකි වීම නිසා සුළු හා ස්වයං රැකියාලාභී පිරිස් කර්මාන්තයෙන් ඉවත්වෙමින් තිබෙන බවත්, මේ නිසා මහා පරිමාණ නිෂ්පාදකයන්ට බිත්තර ඒකාධිකාරියක් ඇති කිරීමට හැකියාව ලැබී තිබෙන අතර, උත්සව සමයේදී කුකුළු මස් ඒකාධිකාරියක්ද ඇති කිරීමට නියමිතව තිබෙන බවත් එම පිරිස් පවසා සිටිති.

මව් සතුන් ගෙන්වීම සීමා කිරීම නිසා එහි වාසියක්, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ලැබී තිබෙන බවත්, මේ නිසා කුකුළු පැටවුන් වෙළෙඳ පොළට නිකුත් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම පිරිස් සඳහන් කරති.

පවතින මිල ගණන් යටතේ රුපියල් දහතුනත් රුපියල් දහසයත් අතර මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව තිබෙන බවත්, කුකුළු පැටවෙකු රුපියල් සියයකට අඩු මුදලකට ලබාදීමට හැකියාව තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

එහෙත් කෘත්‍රිම ලෙස බිත්තර හිඟයක් ඇති කිරීම නිසා බිත්තරයක තොග මිල රුපියල් දහනවය දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Read more

Local News