කොරෝනා ලොව පුරා ව්‍යාප්ත වෙයි – ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්

Share

චීනයේ වුහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදනය අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වී අවසන්.

 

වෛරස ආසාදනය හේතුවෙන් අද වනවිට රෝගීන් 41දෙනෙක් මියගොස් ඇති අතර ආසාදිතයන් ප්‍රමාණය 1 300 කට ආසන්න වෙයි.

මේ අතර කොරෝනා වෛරස් ආසාදනය වාර්තා වූ පළමු දකුණු ආසියාතික රට බවට නේපාලය පත්ව තිබේ.

ඒ යුරෝපය දක්වා ද රෝගය ව්‍යාප්තව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබියදීයි.

චීනයෙන් මතු වූ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 41 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ(24) දිනයේදීත් වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් 16දෙනෙක් මියයාමත් සමඟයි.

මේ අතර වෛරසය ආසාදිත පුද්ගලයින් තිදෙනෙක් පිළිබඳව ප්‍රංශයෙන් ද වාර්තා වී තිබුණි.

එමෙන්ම ඔස්ට්‍රේලියාව, මැලේසියාව යන රාජ්‍යවලින් සහ දකුණු ආසියානු කලාපයට අයත් නේපාලයෙන්ද කොරෝනා වෛරස ආසාදිතයන් හමුව තිබේ.

මේ අනුව වෛරසය ආසාදනය වූ රෝගියෙක් නිශ්චිතව හදුනාගත් පළමු දකුණු ආසියාතික රාජ්‍ය බවට නේපාලය පත් වෙයි.

ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් කොරෝනා වෛරස ආසාදිතයන් බවට සැකකළ හැකි පුද්ගලයින් 11දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධ විශේෂ වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතියි.

චීන චන්ද්‍ර නව වසර උදාවද නොසලකමින් මධ්‍යම චීනයේ නගර 13ක් වෙත සහ ඉන් පිටතට සංචාරක සීමා පනවා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, මෙසේ සංචාරක සීමා පැනවූ නගරවල ජනගහණය සැලකූ කළ එය ශ්‍රී ලංකාවේ ජන ගහණයද ඉක්මවන බවයි.

මේ අතර වෛරසය පැතිරීම පාලනය සඳහා, ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව සහ රැස්වීම් අවලංගු කිරීමටද චීනය කටයුතු කළේය.

මෙතෙක් විද්‍යාඥයන්ට හසු නොවූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් පිළිබඳව මුල් වරට වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන්.

එම ආසාදිතයන් සදහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වෙනම රෝහලක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

චීන මාධ්‍ය වාර්තා කරන්නේ ඇඳන් 1000කින් සමන්විත එම රෝහල් දින හයක් තුළ ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර , මෙම වෛරසය “ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්” ලෙස සලකා කටයුතු කරන්නැයි විවිධ පාර්ශ්ව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර තිබේ.

Read more

Local News