ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් ප්‍රතික්ෂේප කරන්න එපා

Share

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරය වසා දමා අදට(03) දින 12ක්.

 

මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා චීනයේ වූහාන් නගරයේ කඩිනමින් ඉදිකෙරුණු රෝහල් ද්විත්වයෙන් එක් රෝහලක ප්‍රතිකාර කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබේ.

වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 360 ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

නව කොරොනා වෛරසය වැළඳුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සතියක කාලයක් තුළ චීනයේ ඉදි කළ නව රෝහලේ ප්‍රතිකාර කිරීමේ කටයුතු අද ආරම්භ වීමට නියමිතයි.

වූහාන් නගරාධිපති චෞ ෂියන්වන්ග් මහතා හා චීන මහජන විමුක්ති හමුදාවේ සැපයුම් බලකායේ උප අණදෙන නිලධාරී බයි චොංබින් මහතා ඊයේ දිනයේදී අදාළ ලිපිලේඛනයට අත්සන් තැබීමත් සමඟම ‘හෝශෙන්ෂන්’ නම් එම රෝහල නිල වශයෙන් හමුදාවට පවරා දුන්නේය.

වර්ග මීටර් 34000ක භූමි ප්‍රෙද්ශයක් ආස්තරණය කරන රෝහල ඇඳන් 1000කින් සමන්විතයි.

විදෙස් වාර්තා පවසන්නේ අද සිට රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සිදු කෙරෙන බවයි.

මේ අතර ඉකුත් 26 වැනිදා ඉදිකිරීම් ආරම්භ වූ අනෙක් රෝහල එළැඹන 6 වැනිදා විවෘත කිරීමට නියමිත අතර එය ඇඳන් 1500කින් සමන්විතයි.

හමුදා රෝහල්වලට සමාන ප්‍රමිතීන්ට ඉදිකර ඇති මෙම රෝහල් ද්විත්වයෙන් වූහාන් නගරය දැනට මුහුණපා ඇති රෝහල් ඇඳන් හිඟතාව මනා ලෙස ලිහිල් කළ හැකි බව බලධාරීන්ගේ අදහසයි.

මේ  අතර කොරෝනා වෛරසයට පිළියම් කිරීමේදී යම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට තායිලන්ත වෛද්‍යවරු සමත් වී තිබුණි.

නව කොරෝනා වෛරසය අසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියෙකුට ඔවුන් උණ සහ එච්.අයි.වී සඳහා වන ඖෂධ සංයෝගයෙන් ප්‍රතිකාර කර තිබේ.

එම රෝගියා පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ සුව අතට හැරී ඇත්තේ වෛද්‍යවරු මවිත කරමින්.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා චීනයද එච්.අයි.වී සහ උණ ඖෂධ යොදාගන්නා බව මීට පෙර වාර්තා විය.

අද වනවිට චීනය ඇතුළු රටවල් 25කින් හමුවන කොරෝනා වෛරසය ආසාදිතවූවන් ගණන 17 205 ඉක්මවා තිබේ.

මීට අමතරව පුද්ගලයන් 21 558කට වෛරසය වැළඳුණු බවට සැකකෙරෙයි.

වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍ය 361ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 360 ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

කෙසේ වෙතත් වෛරසය ආසාදිත වූවන් අතරින් 475 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ලොවපුරා රටවල් කිහිපයක් චීන ජාතිකයින්ට සංචාරක සීමා පනවද්දි වෛරසය හේතුවෙන් චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය පිලිපීනයෙන් ඊයේ වාර්තා විය.

44 හැවිරිදි චීන ජාතිකයෙකු වූ ඔහු, චීනයේ වූහාන් නගරයේ සිට සංචාරයක් සඳහා පිලිපීනයට පැමිණි අයෙක්.‍‍

චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට රට තුළට ඇතුළු වීම තහනම් කිරීමට අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව පියවර ගත් අතර එම ලැයිස්තුවට එක්වූ නවතම රට වන්නේ නවසීලන්තයයි.

එමෙන්ම ඉන්දියාව ,චීන ජාතිකයින් සඳහා ගුවන් තොටුපළේදී වීසා නිකුත් කිරීම අත්හිටුවා තිබේ.

මේ අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ද ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි දැක්වුණේ වෛරසය පැතිර යන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ජනතාවට ශ්‍රිලංකාවේ සංචාරය කිරීම තාවකාලිකව නතර කරන ලෙසට දැනුම් දී ඇති බවත් සෙසු  පළාත්වල ජනතාව ද ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ නම් අවම වශයෙන් දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සිදුකළ යුතු යැයි දැනුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් එවන් ක්‍රියාමාර්ගවලට නොගොස් සාමාන්‍ය ආකාරයෙන් ඔවුන්ට සලකන ලෙස ද චීන තානාපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read more

Local News