නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Share

දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු  අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් සිව් දෙනා අද දින අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් පැමිණ තිබුණි.

මෙයින් පළමු ගුවන් යානය ඩුබායි සිට පැමිණි යූ.එල්.- 226 දරන වන අතර, අනෙක අබුඩාබි සිට පැමිණි යූ.එල්. – 208 දරන ගුවන් යානයයි.

ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ මහනුවර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගෙන ඇති අතර , අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි 40 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් විසින් මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන දුම්වැටි වර්ග 4 කට අයත් , රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා, දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක්, ගමන් මලු 08 ක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු නිළධාරීන් විසින් පවත්වමින් සිටිති.

Read more

Local News