ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත්කල අයෙක් අත්අඩංගුවට

Share

කූඨ ලේඛන ඉදිරිපත් කර, ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික තරුණයෙකු අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු වන අතර, අද දින ඔහු  අලුයම 3.10 ට කටාර්  ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයට, ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු මුලින්ම ඉතාලියේ මල්පෙන්සා නුවර බලා පිටත්ව යෑම සදහා ගුවන් සේවා කටයුතු නිශ්කාශනය කර ගෙන, ගුවන් තොටුපළ විගමන අංශය වෙත පැමිණ තිබේ .

එහිදී ඔහු ඉදිරිපත් කළ පෘතුගාල වීසා බලපත්‍රය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ, ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට අවබෝධ විය.

එම නිලධාරීන් වහාම මෙම තරුණයා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මොහු ඉදිරිපත් කළ වීසා බලපත්‍රය , ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය යොමු කිරීමට පියවර ගැනුනි.

එහිදී මෙම වීසා බලපත්‍රය තාක්ෂණික වශයෙන් ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලියවිල්ලක් බව තහවුරු වී ඇති අතර, ඉන්පසුව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, එහිදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු , තමාට එරටට පැමිණීම සදහා උදව් කරන බව පැවසීය.

පසුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දීමට පියවර ගෙන තිබේ.

Read more

Local News