දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ පැමිණිලි විභාගය අනිද්දා සිට

Share

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු අනිද්දා දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ මේ වන විට පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව කිහිපයක් ප්‍රකාශ ලබා දී ඇති බවයි.

ඒ අනුව අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි විමසීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පළිගැනිමේ චේතනාවෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව සඳහන් කරමින් නාවික හමුදාවේ නිලධාරීන් කිහිපදෙනෙකු කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු ආරම්භ කරමින් අනිද්දා රියර් අද්මිරාල් ඩි.කේ.පි.දසනායක මහතා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

ලබන 18 සහ 19 යන දිනවල දී තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකුට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා ඇත.

ඒ අනුව විවිධ පාර්ශවයන් විසින් මේ වන විට ජනාධිපති කොමිසම වෙත පැමිණිලි 263ක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිලිවලට අදාළව මුලික විමර්ශන කටයුතු එහි පොලිස් ඒකකය මඟින් ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News