වසන්ත කරන්නාගොඩට සිව්වන සිතාසියත් නිකුත් වෙයි

Share

නියමිත දිනයට අධිකරණයේ පෙනී නොසිමීම හෙතුවෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද (24)  4 වන වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇත.

 

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස නම් කර සිටින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (24) දිනයේ අධිකරණයේ හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබුණි.

චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් සිතාසියක් යොමුකරන ලෙස මහධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවේය.

එමෙන්ම අදාල සිතාසියේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් විත්තිකරු වෙත යොමු කරන ලෙසත් නියම කර ඇත.

එමෙන්ම අදාළ සිතාසියේ පිටපතක්  කරන්නාගොඩ මහතාගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියකුට භාර දෙන ලෙසත් එහි පිටපතක් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙසත් විනිසුරුවරු නියම කර තිබේ.

විත්තිකාර කරන්නාගොඩ මහතා මෙරට ආරක්ෂක අංශවල සිටි උසස්ම නිලධාරියෙකු බව පෙන්වා දුන් අධිකරණය ඔහුට සිතාසි බාර දීමට නොහැකිවීම සුළුවෙන් තැකිය නොහැකි බව සඳහන් කර සිටියේය.

එමෙන්ම ඔහුට සිතාසි බාර දීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිසිය ලැජ්ජාවට පත්විය යුතු බවත් නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු බවටත් මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අධිකරණයේ පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

මේ අනුව වැඩිදුර විමසීම මාර්තු මස 20 වනදා ට කල් තබා ඇත.

Read more

Local News