යාපනයේ සාදයක් වටලා 39 දෙනෙක් පරීක්ෂා කරයි

Share

යාපනය, මරුදනාමඩම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිදු කළ වැටලීමක්දී පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි.

 

ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් පිරිසක් යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී රැස්ව උපන්දින සාදයක් පවත්වන බවට යාපනය යුද හමුදා නිළධාරීන් වෙත ලද තොරතුක් මත යාපනය යුද හමුදා නිලධාරීන් හා චුන්නාකම් පොලිස් නිලධාරීන් ඊයේ (24) රාත්‍රීයේ මෙම වැටලීම සිදුකොට තිබිණ.

වැටලීම සිදුකළ අවස්ථාවේ අදාළ නිවාඩු නිකේතනයේදී පුද්ගලයින් 39 දෙනෙකු සාදයක් පවත්වා ඇති අතර, එහිදි අදාළ පිරිස පරීක්ෂා කිරීම සිදුකළ බවද චුන්නාකම් පොලීසිය පැවසීය.

පුද්ගල පරීක්ෂා කිරීමේදී සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රශ්න කිරීම් වෙනුවෙන් පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණි බවත්, අනෙකුත් පිරිස නිදහස් කළ බවත් චුන්නාකම් පොලීසිය සඳහන් කළේය.

පොලීසිය වැඩිදුරටත් පැවසූවේ පොලිස් ස්ථානය වෙත රැගෙන පැමිණි පිරිසගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර අදාළ දෙදෙනා ආවා කල්ලියට සමඟ සබඳතා පවත්වා ඇති බවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන බවයි.

යාපනය නගරය ආශ්‍රිතව විවිධ මංකොල්ලකෑම්, පුද්ගල පහරදීම්, දේපල හානි කිරීම් ආදි සිදුවීම් වෙනුවෙන් ආවා කල්ලිය සම්බන්ධ බවට යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත.

ආවා කල්ලිය, වික්ටර් කල්ලිය, ධනුරොක් කල්ලිය, අජිත් කල්ලිය වැනි කල්ලි යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවිධ ක්‍රියාකාරකම් පසුගිය සමයේ සිදුකළ බවද යාපනය ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයන් චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News