දිස්ත්‍රික්ක 6ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සඳුදාට තාවකාලිකව ඉවත් කරයි

Share

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව බලපැවැත්වෙයි.

 

සෙසු දිස්ත්‍රික්ක 19 හි ඇඳිරි නීතිය එළැඹෙන අප්‍රේල් 06 වන සඳුදා උදෑසන 6 ට ඉවත්කර යළි එදිනම පස්වරු 2 ට පැනවීමට නියමිතයි.

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ඊයේ උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා ගතවූ කාලය තුළ පමණක් පුද්ගලයින් 1,735 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 443ක්.

ඇඳිරි නීතිය පනවා තිබියදී මහනුවර කොළඹ වීදියේ වෙළෙඳාම් කටයුතුවල නිරතවූ වෙළෙඳසල් වසාදැමීමට මහනුවර පොලිස් නිලධාරීන් අද කටයුතු කළේය.

මේ අතර සමූහ එක්රැස්වීම් තහනම් කර තිබියදී දංකොටුව මෝරුක්කුලිය ප්‍රදේශයේ අපෝස්තලික දේව සභාව යටතේ පාලනය වන දේවස්ථානයක දේවමෙහෙයක් පැවැත්වෙන බවට දංකොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව දංකොටුව පොලිස් නිලධාරීන් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි පැමිණි අතර කිසිදු සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේදයක් හෝ භාවිත නොකර දේවමෙහෙය පවත්වා ඇතැයි කරුණු තහවුරු වූ බව දංකොටුව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව ඊට සහභාගි වූ 06 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැර ඇත.

මේ අතර ලංකා සතොස ආයතනයේ නම සහිතව අත්‍යවශ්‍ය සේවා යන පුවරුව කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කරමින් කොළඹ සිට අනුරාධපුර තලාව දක්වා පැමිණි භාණ්ඩ සහිත කන්ටේනරයක් පොලිස්භාරයට ගැනීමට තලාව පොලිස් නිලධාරීන් සමත් වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනරය ධාවනය කළ 37 හැවිරිදි පදවිය ප්‍රදේශයේ පදිංචි රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එළැඹෙන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීශානි මහත්මිය නියෝග කළේය.

එමෙන්ම හසලක ප්‍රදේශයේදීද භාණ්ඩ ප්‍රවාහන ලොරියක් පොලිස්භාරයට ගැනුණේ අත්‍යවශ්‍ය සේවා යන පුවරුව කිසිදු අනුමැතියකින් තොරව ව්‍යාජ ලෙස සකස් කර ප්‍රදර්ශනය කර භාණ්ඩ අලෙවි කරමින් තිබියදීයි.

එම ලොරිය වැඩිදුර පරික්ෂාවේදී අනාවරණ වුණේ එහි තිබූ ද්‍රව්‍යද පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ සහායක හසලක පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මේ අතර ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරික්ෂාවකදී පාපාදියක හැඬලයේ සූක්ෂ්ම ලෙස සඟවා හෙරොයින් මත්කුඩු රැගෙන ගිය 35 හැවිරිදි පුද්ගලයෙකු බෙලෙක්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වුණි.

ඔහු පාපැදියෙන් ගමන් කර තිබුණේ පලා විකුණන බව පවසමින්.

ඇඳිරි නීති කාලසීමාව තුළ කැකිරාව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කැකිරාව ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඒ, ගෝඩා බැරල් හතරක් සහ මත්පැන් බෝතල් දහයක්ද සමඟයි.

මේ අතර සියලු සුරාසල් වසාතැබීමට රජය නියෝග කර තිබෙන පසුබිමක නෝර්වුඩ් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් අලෙවිසලක් කඩා රුපියල් ලක්ෂ 05 ක පමණ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 300ක් පමණ කිසියම් පිරිසක් සොරකම් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වතු කම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර නෝර්වුඩ් පොලීසිය විමර්ශන සිදුකරයි.

ඇල්ල කුඹල්වෙල ප්‍රදේශයේ වසාදමා තිබෙන සංචාරක හෝටලයක නාන කාමරයක් තුළ පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

මේ අතර ගාලුපාරේ බලපිටිය,ඉඳුරුව හා බෙන්තොට යන නගරවල ඇඳිරි නීති රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ට ඊයේ රාත්‍රියේ ආහාර සපයාදීමට බලපිටිය විහාරාධිපති සංගමයේ භික්ෂූන් වහන්සේ කටයුතු කළේ මේ අයුරින්.

Read more

Local News