අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට රජය ගන්නා සියලුම ක්‍රියාමර්ග සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.

 

අද(07) සවස රටේ පවත්නා තත්ත්වය සහ අර්බුදය අවම කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.

අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදි අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.

ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා. මේ තත්වය තේරුම්ගත්ත නිසා තමයි චීනයේ

වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි. එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන හතළිහකට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටවලා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකංම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරු, උපස්ථායකයින්, බෙහෙත්-හේත්, උපකරණ, වැසිකිළි කැසිකිළි , සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා. මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.

ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයවත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදව ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.
අපි පළමුවෙනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු පාසල්, විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන්ව රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාවන් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙවුවේ නෑ. මේ තත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇදිරිනීතිය පැනෙවුවේ.

ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලා, ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් භාරගෙන තියෙනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේ සහ මාගේ මගපෙන්වීම යටතේ අරලිය ගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍යසේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.

ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස හාරලක්ෂ දහසය දහසක්. නමුත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා. ඊළඟට අපිට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියෝ එක්ලක්ෂ හැටදාහකට අපිට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයෝ 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ හයලක්ෂ හතළිස්පන්දහසකට විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.

දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයෝ පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර. නමුත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් 5000 දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.

අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇදිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.

අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.

 

 

Read more

Local News