කොවිඩ් 19 අරමුදලට තවත් පරිත්‍යාගයන්

Share

විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කර ගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

 

රට මුහුණ දී ඇති අර්බුදකාරී  අවස්ථාවේ රටවැසියෙකු ලෙස මීට දායකවීමට ලැබීම මානුෂික යුතුකමක් බව ඔහු සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය ආහාර වෙළෙඳ භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පරිත්‍යාග කළ රුපියල් මිලියන 25ක් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 25ක් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ වත්මන් සභාපති ශම්මි සිල්වා, ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග යන මහත්වරු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබේ.

වැවිලි කර්මාන්ත හා අපනයන, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඊට අයත් ආයතනවල කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ රුපියල් මිලියන 07ක් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

එයාර්පෝට් ඇන්ඩ් ඒවියේෂන් සර්විසස් (ශ්‍රී ලංකා) ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 10ක්, රජයේ නිලධාරින්ගේ යහ සාධක සංගමය සහ ඉරිගේෂන් ඉන්ජිනියරින් ඩිප්ලොමැට්ස් ඇසෝසියේෂන් ආයතනය රුපියල් මිලියනය බැගින් ද, කළුතර බෝධි භාරකාර මණ්ඩලය රුපියල් මිලියන 10ක්, මනෝ සේකරම් මහතා රුපියල් මිලියන 05ක්, විශ්වවිද්‍යාල විධායක නිලධාරින්ගේ සංගමය රුපියල් මිලියන 2.5ක් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය රුපියල් පන්ලක්ෂ පනස්දහසක්, රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක් සහ ජාතික තරුණ සේවා සභාව මිලියන 1.5ක් වශයෙන් වු පරිත්‍යාග අධ්‍යක්ෂ ජනරාල් (පාලන) විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී. එගොඩවෙලේ මහතාට භාර දී තිබේ.

අද පස්වරු වන විට COVID – 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 585 ඉක්මවා ගොස් ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. 

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දන්වයි.

දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකියි.

Read more

Local News