සයිටම් ප්‍රශ්නය විසඳීමට ලබා දුන් කමිටු නිර්දේශ අද සිට ක්‍රියාත්මක කරනවා – හර්ෂ ද සිල්වා මහතා

Share

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේ, වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සහ ලාබ ලැබීමේ අරමුණින් ඉවත්වීම යන ප්‍රතිපත්තිමය තීන්දු මත නව ආයතන දෙකක් පිහිටුවා සයිටම් ප්‍රශ්නය විසඳීමට ලබා දුන් කමිටු නිර්දේශ අද (22) සිට ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 22 වැනි මහලේ ඊයේ (21) දහවල් පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ,

සයිටම් ප්‍රශ්නය අපට පෙර පැවැති ආණ්ඩුවෙන් ලැබුණු දෑවැද්දක්. නමුත් ජනපති අගමැති දෙදෙනාගේ උපදෙස් සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත ඊට විසඳුම් ලබාදීමට අපට හැකිවුණා. ඒ විසඳුම් නිර්දේශ නීත්‍යානුකූල ඒවා ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) නිකුත් කරනවා යැයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැහැදිලි කළේය.

අපි සයිටම් ආයතනය මුළුමනින්ම අහෝසි කරනවා. ඒ නිසා දැනට අවුරුදු එකත් පහත් අතරේ කාලසීමාවක එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් වසර පහකට සීමා වූ තාවකාලික ආයතනයක් පිහිටුවනවා. එමඟින් වසරින් වසර වෛද්‍ය උපාධිය ලබාදී එම ආයතනය අහෝසි කරනවා.

ඊට අමතරව සයිටම් ආයතනයේ සියලු වත්කම්, වගකීම් කාර්ය මණ්ඩලය හා සියලු සම්පත් එක්කොට මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විද්‍යාලයට අනුබද්ධිතව ස්ලිට් ආයතනයක් පිහිටුවනවා. මේ ආයතන දෙකම ස්ලිට් ආයතනයට අනුබද්ධිතවයි පිහිටුවන්නේ.

සයිටම් විශ්වවිද්‍යාලයට එරෙහිව මතු වූ ප්‍රධාන විරෝධතා දෙකක් තිබුණා. එකක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමේදී අනුගමනය කරන අවම ප්‍රමිතියක් පවත්වාගෙන නොයෑම. දෙක මේ ආයතනය ලාබ ලැබීම අරමුණු කරගෙන තිබීම. අපිට මේ ප්‍රශ්න දෙකට විසඳුම් දෙන්නට වුණා. ඒ සඳහා ජනාධිපතිතුමා විශේෂ කමිටුවක් පත්කළා. එහි සභාපති ධුරය මට පැවරුවා. මේ කමිටුවට සාමාජිකයෝ 09 ක් නම් කළා. ඒ අය මේ ප්‍රශ්නය හා බැඳුණු පාර්ශ්වයන් සියල්ල නියෝජනය කළා.

අපි ඒ අනුව දීර්ඝ කරුණු සාකච්ඡා කිරීමකින් පසු කමිටුවේ වාර්තාව ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් 29 වැනිදා එළිදැක්වූවා.එම වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන්නා. එම වාර්තාව භාරගත් ජනාධිපතිතුමා ඒ ගැන විද්වත් උපදේශකයන් සමඟ සාකච්ඡා කරලා අපේ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කමිටුවක් පත්කළා.

ඒ කමිටුවේ සභාපති ධුරයත් මම දරන්නේ. අපි ඒ කමිටුවේ නිර්දේශ නීතිපතිතුමා වෙත යොමු කළා. ඒවා ක්‍රියාත්මක කරන්න බලාත්මක කරන්න ඕනෑ. ඒ අනුමැතිය අද ලැබිලා තියෙනවා. ඒ අනුව ගැසට් නිවේදනය අද නිකුත් කරනවා.

රජයේ ප්‍රතිපත්තිය තමයි වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම පුළුල් කරන එක. එම ප්‍රතිපත්තියේ සිට රජය ඉදිරියටත් ක්‍රියාත්මක වෙනවා. අප ඒ ඉඩ අහුරන්නේ නැහැ. නමුත් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමේ අවම ප්‍රමිතිය පවත්වාගෙන යෑම හා ලාබ ලබා නොගැනීමේ අරමුණින් තමයි ආයතනය ක්‍රියාත්මක විය යුත්තේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

 

Read more

Local News