ඩෙංගු ව්‍යාප්තියෙන් කොරෝනා පාලනය අඩාල විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Share

මාරාන්තික ඩෙංගු වසංගතය ව්‍යාප්ත වුවහොත් එයින් කොවිඩ් නයින්ටීන් වසංගතය පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ අඩාල විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට ජනතාව වහාම කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

පිරිසිදු වතුරේ බිත්තර දමන ඊඩිස් ඊජිප්ටයි නමැති මදුරු විශේෂයෙන් ඩෙංගු වෛරසය බෝ වෙයි.

ඉකුත් 2019 වසරේදී ඩෙංගු රෝගින් 105,049 ක් වාර්තා වූ අතර මෙම වසරේ ගෙවුණු මාස හතරහමාරක කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 19,474 ක්.

2019 දී ඩෙංගු මරණ 157 ක් වාර්තා වූ අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 20 ක්.

මේ වන විට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇත්තේ කොළඹ,ගම්පහ, කළුතර,ගාල්ල,  මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින්.

සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය සතියේ ආරම්භ වූ වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.

ඩෙංගු මදුරුවන් බිත්තර දමන පිරිසිදු ජලය ටයර්, තැඹිලි කෝම්බ, ප්ලාස්ටික්, පොලිතින් හා පොල්කටු තුළ එක්රැස් විය හැකි බැවින් ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතු වන අතර  වැහි පීළි,ස්ලැබ්, ඉදිකිරීම් ස්ථාන හා වැඩ අවසන් නොකළ ගොඩනැගිලි වලද ජලය එක්රැස් වීම වැළැක්විය යුතු වෙයි.

කොවිඩ්-19 වසංගත තත්වය පාලනය සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක ඩෙංගු බෝවීම වළක්වාගැනීම සඳහා පූර්ණ සහාය දීම ඔබ සතු වගකීමක්.

Read more

Local News