නම්‍ය වැඩ පැය ක්‍රමය හරහා ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකියි – මහ බැංකු අධිපති

Share

පසුගිය කාලයේ දී නිවෙස්ගතව සේවයේ කිරීමේ ක්‍රමය හරහා, ආර්ථික කටයුතු වසා දැමුණු කාලවල වැඩිදියුණු වූ නම්‍ය වැඩ පැය ක්‍රමය තුළින් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වූ බවත්, බොහෝ කාලයක් පුරාවට අවධානය යොමු වුණු ශ්‍රම බලකායේ කාන්තා අංශයෙහි සහභාගීත්වය පහළ මට්ටමක පැවතීමේ ගැටළුවට ඒ හරහා විසඳුම් ලබා දිය හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. පසුගියදා පැවති අන්තර්ජාල සංවාද සැසියක දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ අතර ගෝලීය ආර්ථිකය කොවිඩ්-19 තත්ත්වයෙන් ගැලවීමට අපට වඩා කාලයක් ගතවනු ඇති බවත්, පසුගිය වසර 40 පුරාවට රාජ්‍ය අංශ්‍ය කුඩා කිරීමට ගත් තීරණ නැවත සිතාබැලිය යුතු තත්ත්වයට පත්ව ඇති බවත් අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. තවද ගෝලීයකරණය පැවතුණු විශ්වාසය සම්බන්ධයෙන් මේ වන විට ගැටළු පැන නැඟී ඇති බව පැවසූ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා තවදුරටත් කියා සිටියේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව වැඩි අවධානයක් ලබා දිය යුතු බවයි.

ආර්ථිකයේ වර්ධන වේගය වැඩිකර ගැනීමටත්, ඒ තුළින් රටේ සමස්ත ජනතාවට ප්‍රතිලාභ හිමිවන වාතාවරණයක් ඇතිකිරීමත් සඳහා ගෝලීය හා දේශීය වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී කොවිඩ් වසංගතය මගින් නව ප්‍රවේශයක් ලබා දේ යැයි ඔබ  සිතනවාද? එසේ නම් ප්‍රතිත්ති සම්පාදනය මෙන්ම රටවල් අතර ආර්ථික සබඳතාවවලටත් යම් යම් වෙනස්වීම් සිදුවීමට ඉඩකඩ ඇති අවකාශයන් මොනවාද? යන ගැටළු වෙත ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් දැක්වීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා,

“ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය, දරිද්‍රතාව අඩු කිරීම වැනි පුළුල් අරමුණ පෙළක් යටතේයි, අපේ සමාජයේ ක්‍රියාකාරකම් පසුගිය කාලය තුළ හැඩ ගැහිලා තිබෙන්නේ. මේ සමාජයේ අරමුණු, ඊළඟට ආණ්ඩුවේ, මහ බැංකුවේ, වෙනත් නිල ආයතනවල අරමුණු බවට පත්වෙනවා. මේ අරමුණු යටතේ විශේෂයෙන්ම මිනිස් ජීවිත බේරා ගැනීමේ අරමුණ යටතේ විශේෂයෙන්ම කොවිඩ්-19 ත් එහි පැතිර යාමත් පාලනයට කොට තබා ගැනීම සඳහා ගත් සෞඛ්‍ය නිරෝධායන සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග විශාල අතුරු ප්‍රතිඵල ඇති කළා, සමාජය කෙරෙහි විශාල වශයෙන් බලපාන. නිෂ්පාදනය, රැකියා, ආදායම් විශාල වශයෙන් මේ නිසා බලපෑමට ලක්වුණා. අවාසිදායක බලපෑමට ලක්වුණා. මේවායින් සිදුවන්නට ගිය විශාල සමාජ ව්‍යසනයක්, ඒකට තිබුණු ඉඩකඩ අපි වළක්වා ගත්තා. ඒ සඳහා නොයෙකුත් විදියට අපි ක්‍රියා කරලා තිබෙනවා. වෙනත් රටවල් හා සසඳන කල, අප මෙහිලා ලබා ගත් ජයග්‍රහණ ඇගයෙනවා, වෙනත් අපට වඩා බලවත් රටවලින් අත්පත් කර ගත්තු ප්‍රතිඵලවලට වඩා බොහොම ඉහළ ප්‍රතිඵල අපි අත්පත් කරගත්තා කියලා.“

“මෙහිලා රටේ විවිධ කොටස් එකමුතුව කටයුතු කරපු කාලයක් හැටියට මේ කාලය දකින්න පුළුවන්. ඉඳහිට විවේචනය කරන පිරිස් නැතුවා නොවෙයි. සෞඛ්‍ය සේවා අංශය, රාජ්‍ය සේවා, පොලිසිය, හමුදා, බුද්ධි අංශ යනාදී වශයෙන් රටේ විවිධ අංශ මේ සඳහා පූර්ණ කැපකිරීමකින් කටයුතු කළා පහුගිය කාලය තුළ. මීට අමතරව සාමාන්‍ය මහජනයාගෙන් ලද සහයෝගය අතිමහත්. ඒ සියල්ලගේම ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ අත්පත් කර ගත් ප්‍රතිඵලය ඇගයිය යුත්තේ. මේ සමාන සහයෝගයක් විවිධ අංශ අතර එකමුතුකමක් කොවිඩ් 19 න් පසු ඇති කරන ආර්ථික ප්‍රනර්ජීවනය සඳහා එලෙසම අවශ්‍ය වෙනවා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා. බොහෝ දෙනෙකු සඳහන් කර තිබෙන පරිදි මගේ විශ්වාසයත්, කොවිඩ් 19 අත්දැකීම් මෙතෙක් සමහර විට අපි ඇස් කන් වහගෙන නොදැක්කා වගේ හිටපු යම් යම් ආර්ථික ප්‍රශ්න ගැන ප්‍රපංච ගැන යම් යම් වැදගත් කරුණු ගැන අපව දැනුවත් කරනවා කියලා මට හිතෙනවා. ඒ සිද්ධි දාමය යොදා ගන්න පුළුවන් රටේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට. උදාහරණයක් හැටියට කොවිඩ් 19 සිද්ධි දාමය අනාගතය සඳහා යම් යම් වැදගත් පාඩම් අපට උගන්නනවා. උදාහරණයක් හැටියට ප්‍රමාද නොවී ඒකාබද්ධව ෆිස්කල් මූල්‍ය අධිකාරීන් ක්‍රියා කිරීමෙන් ලද හැකි යහපත් ප්‍රතිඵල, සාඵල්‍යතාවය අපිට මෙයින් ඉගෙන ගන්න පුළුවන්.“

ඉදිරියට යාමේ දී කොවිඩ් 19 හැරවුම් ලක්ෂ්‍යයක් කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා පහත කරුණු කෙටියෙන් මෙයාකාරයෙන් සඳහන් කර සිටියේය.

“1. ගෝලීය ආර්ථිකය කොවිඩ් 19න් එළියට ඒම අපට වඩා ප්‍රමාද වෙනවා. එනිසා අපට සිද්ධ වෙනවා අපි මෙතෙක් කල් හිතපු රාමුවෙන් ඒ විදියටම රැඳී ඉන්නේ නැතුව,  උදාහරණයක් හැටියට අපේ ආර්ථිකයේ ඉතාමත් දැඩි රඳා පැවැත්ම තිබුණේ සංචාරක ව්‍යාපාරය, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණයන්, ඇඟළුම් කර්මාන්තය, මෙවැනි ආර්ථිකයේ බලකණු හැටියට තිබුණු දේවල් එතරම්ම ඉක්මනින් පුනර්ජීවනයට පත්වෙනවා කියන එක හිතන්නට අමාරුයි. මොකද ලෝකයේ අනෙකුත් රටවල් අපට වඩා ප්‍රමාද වෙලා මෙම කොවිඩ් 19 ප්‍රශ්නයෙන් ඉවත් වෙතැයි අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් නිසා. ඒ නිසා ආර්ථිකයට ශක්තිමත් තල්ලුවක් දෙන්න වෙනවා දේශීය කර්මාන්තවලට. දේශීය වෙළෙඳපොළ මත රැඳෙන කර්මාන්තවලට. එයිනුත් විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ආයතනවලින් යුක්ත කොටස්වලට. මේ අනුව දේශීය ආර්ථිකයේ වැදගත් පුනරුදයක් ඇති විය යුතුයි, ඇති වෙන්නට හොඳටම ඉඩකඩ තිබෙනවා,එය මෙම අත්දැකීම් ඔස්සේ අපි ලබා ගන්නා එක්තරා පාඩමක් හැටියට හඳුන්වන්න පුළුවන්.“

“2. අපි අවුරුදු 40 ක් පුරාවට, පුළුවන් තරම් රාජ්‍ය අංශය කුඩා කරන්න, පෞද්ගලික අංශය තමයි නායකත්ව අංශ්‍ය විය යුත්තේ කියන වැනි අදහස් සම්පූර්ණ සත්‍ය අදහස් ලෙස අපි පිළිගත්තා. නමුත් ඒකේ අඩුපාඩු අපිට පහුගිය දවස් ටිකේ පෙනෙන්නට තිබුණා. රාජ්‍ය අංශය ඕනෑවට වඩා විශාල වුණත්, ඒ රාජ්‍ය අංශයේ කැපවීම නොවන්නට  පහුගිය කාලේ අපි ලබා ගත්තු අත්දැකීම් මීට වඩා කර්කශ වන්නට ඉඩ තිබුණා. මෙතන දී අපට ඉගෙන ගන්න තියෙන පාඩම, මේ අංශ දෙක තරඟකාරී සතුරන් ලෙස සිතන්නේ නැතිව පෞද්ගලික – රාජ්‍ය අංශ දෙක සහයෝගයෙන් කටයුතු කිරීම ආර්ථිකය ඉදිරියට ගෙන යෑම සඳහාත්, කොවිඩ් 19 න් බේරීම සඳහා යොදාගත්තා වගේම යොදා ගන්න පුළුවන්.“

“3. ගෝලීයකරණය ගැන පැවතුණු දැඩි විශ්වාසය පිළිබඳ යම් යම් ප්‍රශ්න කිරීම් මතුවෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි, වෙනත් රටවල්වලත්. ජාත්‍යන්තර සාහිත්‍යයේ යම් යම් කොටස් කියවන විට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම යම් යම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වෙන රටවල් අනුගමනය කරපු, බලන කොට දකින්නට පුළුවන්. මේ නිසා ආනයන සීමා කර ගැනීමේ, අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කැ ගැනීමේ ප්‍රතිපත්ති, ගෝලීය වටිනාකම් දාමයන් අපි ඉස්සර කතා කරපු දේවල් තවමත් ඒ විදියටම කතා කරන්න පුළුවන් ද, ඒ ගැන තවදුරටත් විශ්වාසය තබන්න පුළුවන් ද, වැනි ප්‍රශ්න මෙහිදී මතුවෙනවා. සෘජු විදේශීය ආයෝජන ගැන පහුගිය අවුරුදු 4-5 අපි හිතපු තරමට, විශ්වාස කරපු තරමට, විශ්වාස කරන්න පුළුවන් ද? මේ නිසා නැවත වතාවක් මතුවන්නේ දේශීය සහ ජාතික ආර්ථිකය ගැන අපි පෙරට වඩා අවධානයක් යොමු කළ යුතුයි කියන ප්‍රශ්නයයි. අපි රාජ්‍ය – පෞද්ගලික අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා නම් ඒ සහයෝගයේ දී ඉතාමත්ම වැදගත් වන දෙයක් තමයි ජාතික ධනේෂ්වර පංතියක වර්ධනය. මේ සඳහා අපට නොයෙකුත් පාඩම් ඉගෙන ගන්න පුළුවන්, පහුගිය කාලයේ අත්දැකීම් හරහා.“

“4. ආර්ථික කටයුතු වසා දැමුණු කාලවල වැඩිදියුණු වූ නම්‍ය වැඩ පැය ක්‍රමය, නිවාසගතව සේවය කිරීමේ ක්‍රමය හරහා අපට බොහෝ දේ නැවතත් ඉගෙන ගන්න පුළුවන්. ඒ අතරේ එකක් මතු කළ හැකියි. අපි කාලයක් තිස්සේ අවධානය යොමු කළ ප්‍රශ්නයක් තමයි අපේ ශ්‍රම බලකායේ කාන්තා අංශයෙහි සහභාගීත්වය බොහෝ සෙයින් අඩුය කියන කාරණය. මේ නම්‍ය වැඩපැය ක්‍රමය අපි ඉදිරියට ගෙන යනවා නම්, දැනට තිබෙන ප්‍රශ්න විසඳගෙන, එසේනම් කාන්තා ශ්‍රම බලකාය පිළිබඳ තියෙන ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳ ගන්න පුළුවන් වේ යැයි මම සිතනවා.“

“5. ඒ වගේම ඉතාමත් වැදගත් කාරණයක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය. ආහාර ලබා ගැනීමට ආනයන මත රැඳී සිටීමේ ආදීනව අපි පහුගිය අත්දැකීම් ඔස්සේ ලබා ගත්තා. විශේෂයෙන්ම සහල්,  අත්‍යාවශ්‍යම ආහාරය ලංකාවේ, එළවළු පළතුරු ආදිය, ධීවර නිෂ්පාදිත, කිරි මේ සියල්ල සඳහා ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිය හරහා වඩාත් පරිස්සමෙන් කටයුතු කළොත් මේ කියන කාරණා පිළිබඳ, කාර්යක්ෂම නිෂ්පාදන ව්‍යූහයක් ගොඩනගලා, ආනයන සීමා කර දේශීය නිෂ්පාදිත, දේශීය අවශ්‍යතා සඳහා නිපදවීමෙන් පසු අපට විදේශ කරා, අපනයන කරා මේ ආර්ථික කටයුතු විහිදුවන්නට පුළුවන් කියලා මං හිතනවා. ආනයන සීමා කර ආනයන අදේශනය ගරන කතා කරන විට බොහෝ දෙනෙක් අපට මතක් කරන්නේ 1970 ගණන්වල තිබුණු තත්ත්වයට අපි යන්න හදනවා ද කියලා. මම හිතන්නේ නැහැ, හැත්තෑ ගණන්වල තිබුණු තත්ත්වයට යාමක් මෙහිදී කතා කරනවා කියලා. සාමාන්‍යයෙන් ඓතිහාසිකව ලෝකයේ රටවල්, සංවර්ධනය වීමේ ක්‍රියාමාර්ගයන් පරීක්ෂා කරන කල, ඒ රටවල් හැම එකකම වගේ අනුගමනය කෙරුණු ක්‍රියාමාර්ගයන්ට සමාන ක්‍රියාදාමයක් අපි ගැන නැවත කල්පනා කළ බැලිය යුතු බවයි මගේ අදහස.“

Read more

Local News