යහපාලනේ තිබුනේ කැළෑ නීතිය රජ කිරීමක් – විජේදාස

Share

යහපාලන ආණ්ඩුව සමයේ පැවති “ජාතික විධායක සභාව“ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවූවක් නොවන බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

 

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (29) දිනයේ මේ බව ප්‍රකාශ කර තිබේ.

ජාතික විධායක සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීමට ලක්වූ බව පවසමින් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකර ඇති බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ පැමිණිල්ලට අනුව එම සභාවේ සාමාජිකයෙකු ජනාධිපති කොමිසම වෙත කැඳවා සාක්ෂි ලබාගත යුතු බව සභාපති විනිසුරුවරයා තීරණය කිරීමෙන් අනතුරුව විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැඳවනු ලැබීය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, තමන් එහි සාමාජිකයෙකු ලෙස නම් කර තිබුණ ද ජාතික විධායක සභාවේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් තමන් එය රැස්වූ කිසිදු අවස්ථාවක සහභාගි නොවු බවය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,  හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක සහ අර්ජුණ රණතුංග යන අය එහි සාමාජිකත්වය දැරූ බව විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය රජය සමයේ දී තමන් අධිකරණ අමාත්‍යවරයාව  සිටිය ද යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් දැනුවත් වී නොසිටි බව විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් සඳහන් කර සිටියේ ඒ සඳහා නීතීපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බවය.

ඒ අනුව එවකට නීතිපතිවරයා වූ ජයන්ත ජයසූරිය මහතාගෙන් ඒ පිළිබඳ විමසූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ බව විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජාතික විධායක සභාවේ තීරණයක් මත අදාළ අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් 15 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම සභාව තීරණය කර තිබු බව විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

යහපාලන රජය සමයේ පැවති ජාතික විධායක සභාවේ ක්‍රියා කලාපය “කැළෑ නීතිය රජ කිරීමක්“ බව විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Read more

Local News