පාස්කු ප්‍රහාරය : මම එවක ජනපතිට දැනුම් දෙන්න උත්සහ කළා – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ

Share

පාස්කු ප්‍රහාරයට පෙර දින සහ ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම්දීමට තමන් උත්සාහ කළද ඒ වන විට පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

 

සාක්ෂි ලබාදීම සඳහා 16 වන දිනටත් ජනපති කොමිසම හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන මහතා කොමිසමේ සාමාජිකයින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට හැඟීම්බරව පිළිතුරු දෙමින් පැවසුවේ ප්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය අවසන් වරට රැස්වූයේ 2019 වසරේ පෙබරවාරි මාසයේ බවය.

හෙට දිනයේ ප්‍රහාරය සිදුවන බවට පාස්කු ප්‍රහාරයට පෙර දින නිලන්ත ජයවර්ධන මහතාට ලද විදෙස් තොරතුරුකරුගේ බුද්ධි තොරතුර එවක ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසීය.

මම හවස 6.18 ට පැජට් පාරේ දුරකථනයට අරගෙන කිව්වා මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරන්න කියලා. ඔවුන් ඊට උත්සහා කරන්න කිව්වා. නමුත් ස්වාමිනී පාස්කු ප්‍රහාරයට කලින් දවසේ ඒ කියන්නේ අප්‍රේල් 20 වෙනිදා දවස තුළ ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න නොහැකි වුණා.” යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදුන්නේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය “ඔබ පසුව යළි උත්සාහ කළේ නැද්ද?”

ඊට පිළිතුරු ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ” නැහැ. මට මේ තොරතුරු ලැබුණු අප්‍රේල් 04 ත් ජනාධිපතිව දැනුවත් කරන්න තිබුණා. නමුත් මං එහෙම කළේ නැහැ. මගේ රාජකාරීමය වගකීම තිබුනේ ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී සහ පොලිස්පති දැනුවත් කිරීම. මට කරන්න පුලුවන් උපරිමය ඉෂ්ඨ කළා. මම ජනාධිපතිට කියන්න හිතුවේ.. පස්සේ කියයි ඔයාලා කිව්වේ නැ.. කියල. මට මේ ලැබෙන සියලු තොරතුරු ජනාධිපතිවරයා දෑනුවත් කළ යුතුයි කියල කොහේවත් ලිඛිතව හෝ වාචිකව උපදෙසක් නැහැ. ඒත් මං මේ පණිවුඩය කියන්න ගත්තම ජනාධිපති busy. මං සාමාන්‍යයෙන් නිතරම එතුමට කතාකරන්නෙත් නැති නිසා ඒ අය හිතන්න ඕනේ මට කොහොමහරි එතුමව සම්බන්ධ කරල දෙන්න. ”

අනතුරුව ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ ” ඔබට දැන් හිතෙන්නෙ නැද්ද ජනාධිපතිවරයා දැනුවත් කළානම් මිනිස්සු බේරගන්න තිබුණා කියලා ”

“මට තාමත් එහෙම හිතෙන්නෙ නැහැ.” නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නේය.

“ඇයි ඔබට හිතුනේ නැත්තේ ජනාධිපතිවරයාට කිව්වානම්, ඇඳිරි නීතිය දලා.. හමුදාව කැඳවලා.. අවශ්‍ය කරුණු කරලා.. මිනිස්සු මැරෙන එක නවත්තන්න තිබුණා කියල..? ” ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු නැවත විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබාදෙමින් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ “සිදුවීමෙන් පස්සෙ බොහෝ දෙනා බොහෝ දේවල් කියන්න පුලුවන්. අපි වගකීමක් ඇතිව වැඩ කළා. ජනාධිපතිතුමා දැනුම්වත් කරන එක මං විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ජාතික බුද්ධි ප්‍රධානියාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, පොලිස්පතිවරයාටත් පුලුවන්. මං දන්නැ ඔවුන් එය කළාද කියල. නමුත් මං උත්සහා කළා.”

එලෙස පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතාගෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු නැවත විමසුවේ ” ඔබ මීට පෙර කිව්වා හෙට ප්‍රහාරය වෙන බව කිව්වම පොලිස්පති එය බැරෑරුම්ව නොගත් බව ඔබට හිතුනා කියලා. ඇයි ඒ වෙලාවේදීවත් ජනාධිපතිවරයා දැනුවත් නොකළේ?”

“ජනාධිපතිතුමාට කතාකළත් එයා කතා කරන්නෙත් ආරක්ෂක ලේකම්වරයාටනේ. නැත්නම් අගමැතිවරයට කතා කරයි. මං දන්නැ හැබැයි අගමැතිවරයාට කතාකරයිද කියල.  මං ජනාධිපතිවරයාට කතාකරලත් මුකුත් වුනේ නැත්තම් ඒත් කියයි රාජ්‍ය බුද්ධි සේවය මුකුත් කළේ නැහැ කියල. ” නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

“ජනාධිපති ලංකාවෙ නොසිටියානම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට නොකිව්වේ?” ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු නැවත නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසීය.

“අගමැතිවරයාව දැනුවත් කළේ නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට නොකිව්වේ, ඔහු මේ වගේ කටයුතුවලට සැලකියයුතු ලෙස දායකත්වයක් දැක්වූවේ නැති නිසයි ස්වාමිනී. සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.

අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 21 වෙනිදින ප්‍රහාරයට පෙර තොරතුරක් ලැබුණේ ද යන්නයි.

“උදේ 8.27 ට මගේ තොරතුරුකරු මට කිව්වා.. ඔවුන්ගේ එක ඉලක්කයක් වෙන්නේ කොළඹ මෙතොදිස්ත පල්ලියක්, ඔවුන් මේ ප්‍රහාරය අද උදේ 6ත් 10ත් අතර සිදුකරනවා…කියල. මම මේ තොරතුර ලැබුණු ගමන් 8.28 ට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහටත්, 8.30ට පොලිස්පති පූජිත් ජයසුන්දරටත් කතා කරල කිව්වා’ මේගොල්ලො ගහන්න පටන් ගන්න හදන්නේ. මෙතොදිස්ත පල්ලියකටටත් ගහන්න හදනවා..’ කියල. හැබැයි මට පොලිස්පතිවරයා උපදෙසක් දුන්නේ නැහැ. ඊට පසු 8.32ට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරල විස්තරේ කිව්වා. ” යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමේ අවධානය විදෙස් බුද්ධි තොරතුරුකරු නිලන්ත ජයවර්ධන මහතාට තොරතුර ලබාදුන් 2019 අප්‍රේල් 04 දින සිට පාස්කු ඉරිදාව දක්වා සිදුවූ සිදුවීම් වෙත ගෙන ගිය අතර සාක්ෂිකරුගෙන් විමසුවේ තොරතුරු සියල්ල ලබාදීලත් ක්‍රියාත්මක වුණානම් මෙය වළක්වාගැනීමට හැකියාව තිබුනා නොවේද යන්නයි.

එහිදී කොමිසම හමුවේ ඉතා හැඟුම්බරවූ නිලන්ත ජයවර්ධන මහතා ” එක මිනිහෙක්ව හරි බේරගන්න තිබුණා එහෙම වුනානම් ” යනුවෙන් පැවසුවේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නැවත නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසුවේ ” පළමු බෝම්බය පුපුරා ගියා කියල දැනගත්පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔබ කුමක්ද සිතුවේ ? ”

ඊට නිලන්ත ජයවර්ධන මහතා හැගුම්බරවව ‘‘ මට දැඩි කණගාටුවක් දැනුනා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මම වුණ නිසා. මම උත්සාහ කළා ස්වාමිනී ඒත් මට බැරි වුණා. ප්‍රහාර කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂක අමාත්‍යංශයට රැස්වුණා. මං එතනදි කිව්වා ‘ දැනට හයක් පිපිරුණා. තව දෙකක් තියෙනවා. තව බෝම්බ පුරවපු වෑන් එකක් තියෙනවා. ඒ නිසා කිසිම තැනකට යන්න එපා කියලා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු විමසා සිටියේ ” 21 වෙනිදා උදේ ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුනද ? ”

” උදේ 7.59 ට පැජට් පාරෙ නිලධාරියා අරන් කිව්වා සර් ලයින් එකේ ඉන්න. ජනාධිපතිතුමා සම්බන්ධ කරන්නම් කියල. මං එතකොට කිව්වා.. ඔයාලට මං ඊයේ කිව්වේ දැන්ද කරන්නෙ.. කියල. ඒත් සම්බන්ධ වුනේ නැ. මං ආයෙත් ප්‍රහාර එල්ල වෙන කොට 8.58ට අරන් සැරෙන් කිව්වා දැන්වත් සම්බන්ධ කරන්න කියල. ඊට පස්සේ උදේ 9.13ට ජනාධිපතිතුමා මට කතා කළා. මං කිව්වා ‘ ජනාධිපතිතුමා මං ඊයේ ඉදල උත්සාහ කරන්නේ. මෙන්න මෙහෙම ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. තව වෙන්න තියෙනවා ‘ කියල. ඊටපස්සෙ එතුමා කිව්වා ‘ හරි මං ලේකම්ට කතා කරන්නම් ‘ කියල. පසුව දවල් යළි ඇමතුමක් අරගෙන මගෙන් සම්පූර්ණ විස්තරේ අහගත්තා. ” යනුවෙන් නිලන්ත ජයවර්ධන මහතා ඊට පිළිතුරු ලබාදුන්නේය.

“ප්‍රහාර ගැන කිව්වම ජනාධිපති කිව්වේ ‘ හරි මං ලේකම්ට කතා කරන්නම්’ කියල විතරයිද ? ” ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු නැවත නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසීය.

” මට මතක එච්චරයි ස්වාමිනී. වෙන කිසිම ගත යුතු පියවරක් හෝ උපදෙස් ගැන කිව්වෙ නැහැ. ” නිලන්ත ජයවර්ධන යනුවෙන් ඊට පිළිතුරු ලබාදුන්නේය.

නැවත ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු නැවත නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසුවේ” මේ ප්‍රහාරය සිදුවෙන්න පෙර අවසන් වරට ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වුණේ කවදාද ? ”

“2019 පෙබරවාරි 29 ස්වාමිනී. ” නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

Read more

Local News