සෝනියා ගාන්ධි තවදුරටත් කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයේ

Share

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි තවදුරටත් පක්ෂ සභාපතිත්වයේ රැඳී සිටිනු ඇතැයි කොංග්‍රස් පක්ෂ මධ්‍යම කාරක සභාව නිවේදනය කළේ ය.

 

ඒ. ඊයේ පැය 7 ක් පුරාවට පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව ය.

මෙවැනි මොහොතකදී කිසිවකුට පක්ෂය දුර්වල කිරීමට හෝ එහි නායකත්වය සුළුකොට තැකීමට අවසර නොදෙන බව ද කොංග්‍රස් පක්ෂය අවධාරණය කළේ ය.

කමිටු රැස්වීම අවසානයේ සෝනියා ගාන්ධි නායකත්වය අභියෝගයට ලක්කරමින් ලිපියක් එවූ කිසිවකු සමග අමනාපයක් නොමැති බවත්, ඉන් සිය සිත රිඳුන ද ඔවුන් තම සමකාලීනයන් බැවින් සියලු දේ අමතක කර එක්ව කටයුතු කිරීමට සුදානම් බවත් ප්‍රකාශ කළ බව සඳහන් ය.

කොංග්‍රස් පක්ෂයේ නායකයන් 23 දෙනෙකුගේ අත්සන සහිතව ඇයගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් එවන ලද ලිපිය ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව තමන් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්වන බවත් ඒ සඳහා ගාන්ධි පවුලට අයත් නොවන වෙනත් අයකු තෝරා පත් කරගන්නා ලෙසත් සෝනියා ගාන්ධි ඉල්ලා සිටියා ය.

කෙසේ වෙතත් මෙම ලිපිය සහ එය එවීමට මුල්වූ සියලු දෙනා හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං ඇතුළු ගාන්ධි පවුලට පක්ෂපාතී සියලු කොංග්‍රස් පාක්ෂිකයන්ගේ දැඩි විවේචනයට ලක්විය.

මංමෝහන් සිං සෝනියා ගාන්ධිගෙන් ඉල්ලා සිටියේ, මාස හයකින් සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුව කැඳවා නව සභාපතිවරයකු තෝරාපත් කරන තෙක් පක්ෂ සභාපති ධූරය හොබවන ලෙසය.

සෝනියා ගාන්ධි සභාපති ධුරයෙන් ඉවත්වන්නේ නම් ඒ වෙනුවට රාහුල් ගාන්ධි පත්විය යුතු බව ඇතැම් කොංග්‍රස් පක්ෂ නායකයන් ප්‍රකාශ කළේ ය.

Read more

Local News