යහපාලන ආණ්ඩුවෙන් ගෙනා කොමිෂන් සභා ස්වාධීන නෑ – ජනමාධ්‍ය අමාත්‍ය

Share

යහපාලන ආණ්ඩුවෙන් ගෙනා කොමිෂන් සභා කිසිවිටෙකත් ස්වාධීන නොවූ බවත් ඒ නිසා ඉදිරියේදී ස්වාධීනත්වය රැකෙන පරිදි යම් යම් වෙනස්කම් ඉදිරි සංශෝධනය හරහා කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

 

කොමිෂන් සභා පත් කෙරුණු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාගෙන් හත්දෙනෙකු යහපාලන කණ්ඩායමේ බවත් එහි සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර මැතිවරණයේදී තම ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබාදුන් ජනතාවට ප්‍රණාමය පුදකිරීමට හාරිස්පත්තුවේ පැවති රැස්වීම් කිහිපයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත මැතිවරණ කොමිෂන් සභාවේ ගණපූරණය ද තුනක් කර ඇතැයි මෙහිදී පැවසූ ඇමැතිවරයා එවැනි තත්ත්වයක් ලොව කිසිදු රටක නැතැයිද පැවසීය.

ස්වාධීනයි කියූ මේ ආයතන මූලික සිද්ධාන්ත පවා උල්ලංඝනය කර ඇතැයි ද ඒ නිසා ඒවා නිවැරැදි කිරීම ඉදිරියේදී සිදු කරන්නේයැයි ද ඒ මහතා පැවැසීය.

තොරතුරු දැනගැනීමේ පනත, ජනාධිපති ධුර කාලය වසර පහකට සීමා කිරීම, දෙවරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකියි යන කරුණු විසිවන සංශෝධනයට ඇතුළත් කිරීමට කටයුතු කරන බවත් රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දී ඇත්තේ ‍එලෙස රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කිරීමට බවත් රඹුක්වැල්ල මහතා පැවැසීය.

දහනව වන සංශෝධනය රටේ ඉදිරි ගමනට බරපතළ බාධාවක් බව ද එහි ඵල විපාක ගෙවුණු වකවානුවේ රටට දැඩි ලෙස අත්විඳීමට සිදුවුණු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

දහතුන් වන සංශෝධනය සතියක් ඇතුළත නිර්මාණය වූ සංශෝධනයක් බැවින් අඩුපාඩු තිබිය හැකි යැයි ද ඒ නිසා මේ සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කළ යුතුයැයි ද ඒ මහතා කීය.

විග්නේෂ්වරන් මෙන්ම ගජේන්ද්‍ර පොන්නම්බලම් කළ ප්‍රකාශ ජාතිවාදී ප්‍රකාශ ලෙසත් ජාතික සමඟියට ප්‍රබලව එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙසත් තමන් එය දකින බව ඇමැති රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read more

Local News