පාස්කු ප්‍රහාරය : මම කාවවත් රකිනවා නෙමේ ස්වාමිනි – හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04වනදා විදෙස් බුද්ධි අංශයකින් පූර්ව දැනුවත් කිරීමක් ලැබුණු දිනයේ සිට අවස්ථා කිහිපයකදීම තමා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුවද, අදාළ තොරතුර පිළිබඳ හිටපු ජනාධිපතිවරයා දැනුවත් නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

 

ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 17 වන දිනටත් ඊයේ (24) සාක්ෂි ලබාදුන් අවස්ථාවේ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්ය.

එම දුරකථන දත්ත වාර්ථාවට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ දුරකථන අංකවලින් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට,
2019 අප්‍රේල් මස 05 වන දින පෙ.ව 7.59 ට තත්පර 28
2019 අප්‍රේල් මස 08 වන දින පෙ.ව 7.18 ට තත්පර 17
2019 අප්‍රේල් මස 09 වන දින පෙ.ව 8.02 ට විනාඩි 04යි තත්පර 14
2019 අප්‍රේල් මස 12 වන දින පෙ.ව 8.50 ට තත්පර 37
එදිනම ප.ව 08.07 ට තත්පර 16 ක
2019 අප්‍රේල් මස 13 වන දින පෙ.ව 6.27 ට තත්පර 15
2019 අප්‍රේල් මස 14 වන දින ප.ව 9.39 ට තත්පර 38
2019 අප්‍රේල් මස 15 වන දින ප.ව 7.47 ට විනාඩි 03යි තත්පර 19
2019 අප්‍රේල් මස 20 වන දින ප.ව 6.16 ට විනාඩි 01 යි තත්පර 28
 වශයෙන්ද ඇමතුම් ලබාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දින අප්‍රේල් මස 21 වන දින ප්‍රහාරය එල්ලවීමට පෙර තවත් දුරකතන ඇමතුමක්ද නිලන්ත ජයවර්ධන මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාගත්තේද යන්න ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

තමන් විසින් අදාළ ඇමතුම් ලබාගන්නා ලද්දේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට වන අතර එහි ඇති දුරකතන ඇමතුම් පරික්ෂා කිරීමේ ඒකකය විසින් ඇතැම් අවස්ථා වලදි පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන් බවට ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුනි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යළි අදාළ විශේෂ වාර්තාව ඔස්සේ ප්‍රශ්න කර සිටියේ,

2019 අප්‍රේල් මස 04 වන දින පෙ.ව 6.50 ට විනාඩි 10යි තත්ත්පර 40
2019 අප්‍රේල් මස 08 වන දින පෙ.ව 8.12 ට විනාඩි 04
2019 අප්‍රේල් මස 13 වන දින පෙ.ව 7.11 ට විනාඩි 09 යි තත්ත්පර 11
2019 අප්‍රේල් මස 15 වන දින ප.ව 7.52 ට විනාඩි 05 යි තත්ත්පර 06

ලෙස පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසින් නිලන්ත ජයවර්ධන මහතාට දුරකථන ඇමතුම ලැබී ඇත්ද යන්නය. අදාළ දුරකතන ඇමතුම් තමන්ට ලැබෙන්නට ඇති බව එහිදි ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුනි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා යළි ප්‍රශ්න කළේ ජනාධිපතිවරයාගේ නිල නිවසින් ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් අයෙකු ඔබට ඇමතුම් ලබාගන්නේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ ඇතැම් අය තමන්ට ඇමතුම් ගෙන සම්බන්ධ කරගැනීමට නොහැකි වු විට ජනාධිපතිවරයාගේ නිල නිවස හරහා තමන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බවයි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩිව ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 04 වන දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් පසු සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදි ඔබ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණය වන පසුබිමක ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේද යන්නයි.

එම ප්‍රශ්නයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ලබාදුන්නේ නැත යන පිළිතුරය.

අප්‍රේල් 04 දින Whatsapp පණිවුඩයක් තුළින් ලැබුණු පළමු පුර්ව දැනුවත් කිරීම මුලික තොරතුරක් පමණක් වු බැවින් ඒ පිළිබද ජනාධිපතිවරයා දැනුවත් නොකළ අතර එම තොරතුර වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මස 07 වන දින ඒ පිළිබද ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළ බවය.

එසේම යම් හෙයකින් ඉකුත් වසරේ අප්‍රේල් මස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වුයේ නම් පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබද තමන්ට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හැකියාවක් තිබු බවද ජයවර්ධන මහතා කියා සිටියේය.

එසේම සාක්ෂිදීම අවසානයේ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ ” මම කාවවත් රකිනවා නෙමේ ස්වාමිනි ” යනුවෙන්.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රතිචාර දැක්වුවේ, ” අපි ඔබ කිසිවෙක් රකිනවා යැයි ප්‍රකාශ කළේ නැහැනේ ” කියාය.

සභාපති විනිසුරුවරයාගේ එම ප්‍රකාශය හමුවේ ” සමහරු කියනවා ” යනුවෙන් ජයවර්ධන මහතා සිනාසී පිළිතුරු ලබාදුනි.

Read more

Local News